කොළඹ මාර්ග කීපයකට ශීඝ්‍රගාමී බස් සේවයක්


(අජන්ත කුමාර අගලකඩ) 
කොළඹ හා තදාසන්න නගරවල තෝරාගත් මාර්ග කිහිපයක ශීඝ්‍රගාමී බස් සේවාවක් පවත්වාගෙන යාම සඳහා මේ වසරේ යෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය. 


මෙම ව්‍යාපෘතිය කොරියානු ආධාර යටතේ, රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. 


එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු ඉදිරියේ දී ආරම්භ කරන බව කී ඇමැතිවරයා අනතුරුව බස් සේවාව සඳහා යෝජනා කැඳවන බවත් ප්‍රකාශ කළේය.