කොළඹ මහ නගර සභාවේ නිල නිවාසවල ගෙවලයෝ


කොමසාරිස්වරියට කුලී නිවාසයක් 

(ජයන්ත සමරකෝන්) 
කොළඹ නව නාගරික කොමසාරිස්වරියට නිල නිවසක් නොමැතිකමින් දැනට කොළඹ කුලී නිවසක පදිංචි වී සිටින බව එම නගර සභා ආරංචිමාර්ග අනාවරණය කරයි. 

මෙම කුලී නිවස පසුගියද‌ා කොළඹ 7, කින්සි පාර රොක්වුඩ් පෙදෙසින් කුලියට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 3 ක මාසික කුලී මුදලකට බව මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභා වාර්තාවක සඳහන් වේ. 


නාගරික කොමසාරිස්වරියට හිමි කොළඹ 7, කෞතුකාගාරය අසල පිහිටි නිල නිවස හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් දැනට වසර 5 කට අධික කාලයක පටන් පවතින අධිකරණයේ පවරා ඇති නඩුවක් හේතුවෙන් බාර දී නැතැයි පැවසේ. 


 හිටපු නාගරික කොමසාරිස් කේ.එන්. අනුර මහතා මේ වෙන විට කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි නිල නිවසක පදිංචිව සිටින අතර ඒ මහතා ද නඩු මාර්ගයක නියැලී සිටින බව කියති. 


 හිටපු නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා මාලිගාකන්ද කොළඹ 10 නිල නිවසක පදිංචිව සිටින අතර මෙතෙක් එය ආපසු භාර දී නැතැයි ද සඳහන් වේ. ඒ සමගම නගර සභාවට අයත් නිල නිවාස 4 ක් දැනට වසා දමා ඇති බව ද වාර්තා වේ. ඒවා කොළඹ 2, කොළඹ 10, කොළඹ 7, හා කොළඹ 10 යන ස්ථානවල පිහිටා ඇති බව ද සඳහන් වේ. නාගරික කොමසාරිස්වරියට සිය කුලී නිවස මාස 6 ක කාලයක් සඳහා ලබා දීමට පසුගියද‌ා පැවැති මහ සභාවේ දී අනුමැතිය හිමිවී ඇතැයි නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා (ජවිපෙ) පවසයි. 


මෙය දෙමහල් කුලී නිවසක් වන අතර එය කාමර 12 කින් යුක්ත බව ද වාර්තා වේ.