කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම ඇඳිරි නීති තීන්දුව සති අන්තයේ


(අජන්ත කුමාර අගලකඩ)  

කොරෝනා අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතරේ ඇඳිරි නීතිය හෙට (27) සිට ඉවත් කරන්නේ ද නැද්ද යන්න සෞඛ්‍ය අංශ විසින් මේ සති අන්තයේ දෙනු ලබන වාර්තා සැලකිල්ලට ගෙන තීරණය කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  

මෙම දිස්ත්‍රික්ක හතරේ පොලිස් බලප්‍රදේශ 22ක හැර, අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉකුත් බදාදා (22) උදේ 5.00 සිට රාත්‍රී 8.00 දක්වා දිනපතා ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද කොළඹ කෙසල්වත්ත බණ්ඩාරනායක මාවතේ වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග එම තීරණය වෙනස් කළේය.  


ඒ අනුව, මෙම දිස්ත්‍රික්ක හතරේ ඇඳිරි නීතිය හෙට (27) උදේ 5.00 දක්වා රජය විසින් දීර්ඝ කරනු ලැබීය.  
මේ අතර, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉකුත් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උදේ 5.00 සිට රාත්‍රී 8.00 දක්වා ඉවත් කරනු ලැබීය.  


එසේ වූව ද සියලු දිස්ත්‍රික්කවල සිකුරාදා (24) රාත්‍රී 8.00ට යළි පැනවූ ඇඳිරි නීතිය සඳුදා (27) උදේ 5.00 දක්වා ක්‍රියාත්මක වේ.  


කොරෝනා අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලත්, ඇඳිරි නීතිය සඳුදා (27) සිට ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න මේ සති අන්තයේ තීරණය කෙරෙනු ඇත.