කොවිඩ් දෙවැනි මාත්‍රාව 23 වැනිදා අරඹනවා


සෞඛ්‍ය ඇමැතිනිය  

(පද්මිණී මාතරගේ)  

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අැමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.  

එන්නතේ දෙවැනි මාත්‍රාව පළමු මාත්‍රාව ලබා දී සති 12 කට පසුව ලබා දීමෙන් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තියක් ලැබෙනු ඇති බව සනාථ වී ඇතැයි ද ඇමැතිනිය පෙන්වා දෙයි.  


ඒ අනුව දෙවැනි මාත්‍රාව ලබාදීමේ කාලය අප්‍රේල් 23 සිට ජූලි මස 06 දක්වා අතර කාල පරාසයක් තුළ විහිදී ඇති බව ද ඇමැතිනිය පෙන්වාදෙයි.  


මේ අතර අදාළ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීමේ සූදානම ගැන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගෙන් විමසීමේ දී ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවම සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වසංගත රෝග විද්‍යා අංශය දැනුම්වත් කිරීමක් කර නැති බවත් එසේ දැනුම් දුන් වහාම සෞඛ්‍ය සේවකයන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට මුලින් දුන් ආකාරයටම ලබා දෙන බව ද ඉන් අනතුරුව ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද කීය.  


මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නත කොළඹ නගරය තුළ එක් ලක්ෂ දස දහසකට ලබා දීම සිදුකර ඇති අතර එන්නත ලබා දීම ඇස්තමේන්තු කර ඇත්තේ තුන් ලක්ෂ පනස් දහසක් සහ හාර ලක්ෂයක් අතර ප්‍රමාණයක් ලබාදීම යැයි ද කීය.  
තවත් ලක්ෂ තුනකට පමණ ප්‍රමාණයක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා කීය.