කොලොන්නාවේ අලුතින් තෙල් ටැංකි 9ක්


 

(උපුල් වික්‍රමසිංහ)   

ලංකා ඉන්දියන් තෙල් සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙහි පිහිටි පරිහරණයට නොගන්නා තෙල් ටැංකි 84 න් 15 ක් රජයට පවරා ගන්නා බවට ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම ප්‍රකාශ කළ ද එය පසෙකලා මේ වන විට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙහි අලුතින් තෙල් ටැංකි 9 ක් ඉදිකිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි.   

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 41 ක් දක්වා අඩු වී ඇති බවත් එවැනි පසුබිමක ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තයේ ඇති පරිහරණයට නොගන්නා තෙල් ටැංකි තෙල් තොග ගබඩා කිරීම සඳහා භාවිත කර ආද‌ායම් ඉපයීමට හැකිව තිබිය දී ඩොලර් බිලියන 4 ක මුදලක් වැය කරමින් කොළොන්නාවේ අලුතින් තෙල් ටැංකි 9 ක් ඉදිකිරීම මහජන මුදල් නාස්ති කිරීමක් බවත් ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සංවිධායක ආනන්ද පාලිත මහතා පවසයි.   


මෙම තෙල් ටැංකි 9 න් තුනක් ඉදිකිරීම සඳහා පසුගිය යහපාලන ආණ්ඩුවේ අනුමැතිය හිමි වූ බවත් එවක දී විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව ඊට විරෝධය දක්වා අද එහි තවත් තෙල් ටැංකි හයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම අනුමත කළ නොහැකි බවත් පවසන ඒ මහතා ත්‍රිකුණාමලය තෙල් ගබඩා පර්යන්තයෙහි පිහිටි භාවිතයට නොගන්නා තෙල් ටැංකි රජයට පවරා නොගැනීම රටේ ආර්ථිකයට හිතකර නොවන බව ද කියයි.   


මේ ගැන විමසීමට ඛනිජ තෙල් විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාත් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.