කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක්! චීනයෙන් අමුද්‍රව්‍ය නැවතී ඇඟලුම් කම්හල් 50 ක් කොට උඩ


කම්හල් ගණනාවක් තාවකාලිකව වසා දමන්න යයි

(දයාසීලී ලියනගේ)

ඇඟලුම් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ගෙන්වීමට නොහැකි වීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලා 50කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා දැමීමට සිදුවන තත්ත්වයක් උද‌ා වී ඇති බැවින් ඒවායේ සේවකයෝ දහස් ගණනක් රැකියා අහිමි වීමේ තර්ජනයට මුහුණ පා සිටිති.​  

මේ තත්ත්වය පිළිබඳව කරන ලද විමසීමේදී ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් ලක්ෂානි මහතා ප්‍රකාශ කළේ අමුද්‍රව්‍ය චීනයෙන් ගෙන්වා ගැනීමට ඇති අපහසුතාව එක් එක් ඇඟලුම් කර්මාන්තශාලාවලට විවිධාකාරව බලපා තිබෙන බවයි. ඇතැම් ආයතන තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති අතර තවත් ආයතන අප්‍රේල් නිවාඩුවෙන් පසු සති කීපයක් වසා දැමීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ප්‍රකාශ කළ ලක්ෂානි මහතා තවත් ඒවා මාර්තු මාසයේ සිට තාවකාලිකව වසා දැමීමට තිරණය කර ඇතැයි ද කීය.  


රෙදිපිළි, ලේබල්, සිප් ෆාස්ට්නර් ඇතුළු අමුද්‍රව්‍ය චීනයෙන් ගෙන්වනු ලබන අතර කොරෝනා ප්‍රශ්නය නිසා කිසිදු අමු ද්‍රව්‍යයක් ආනයනය කිරීමට නොහැකි වීමෙන් මේ තත්ත්වය උද‌ා වී ඇත.  


මේ වසරේ මැයි මාසය වන විට කෝටි 9 1/2 ක් පමණ මුදලක් පාඩුවන බව ද ඔහු කීය.  


නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ නව ලේකම් ඇන්ටන් මාර්කස් මහතා ප්‍රකාශ කළේ මේ වන විටත් බොහෝමයක් ඇඟලුම් ආයතනවල සේවිකාවන්ගේ අතිකාල කපා හැර ඇති බවයි. ඇඟලුම් කම්හල් හිමියන් තම ආයතන තාවකාලිකව හෝ වසා දමන්නේ නම් ඇඟලුම් සේවක සේවිකාවන්ට වැටුප ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද ඇන්ටන් මාර්කස් මහතා කීය.