කොරෝනා රෝගීන් අඩුවීම මතභේදකාරියි


මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

කොරෝනා රෝග ආශ්‍රිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කළ ද එය සාපේක්ෂ අඩුවීමක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

ඒ පිළිබඳ සොයා බැලිය යුතු යාන්ත්‍රණය ලංකාව තුළ ලිහිල් වී ඇතැයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කරයි. 
 රෝග ආසාදිතයෙකු සොයාගත යුත්තේ සායනිකව රසායනාගාර පරීක්ෂණයකින් සාම්පල පරික්ෂාවකින් පමණි. 
 එහෙත් දැනට සංචරණ සීමා කර නොමැති පසුබිමක ඕනෑම අයෙකුට ඕනෑම තැනකට යාමේ ඉඩකඩ පවතින නිසා ප්‍රජාවගේ අහඹු ලෙස සාම්පල පරික්ෂාව දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වෙන සේ සිදුකළ යුතුය. 
 මේ රෝග ආශ්‍රිතයන්ගේ අඩුවීම සැබෑවටම අඩුවීමක් ද සාම්පල් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවුණ තත්ත්වයක් ද කියා සොයා බැලිය යුතු බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කරයි. 
 දිනකට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 20,000 ක ප්‍රමාණයක් ද මේ වෙන විට අඩු වී තිබේ. 


 මෙය සත්‍ය වශයෙන්ම අඩුවීමක් ද? ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ ඉහළ පෙළේ නිලධාරීන් විසින් කරුණු රටට හෙළිකළ යුතු බව ද ඔහු පැවැසීය. 


 නමුත් මේ අවස්ථාවේදී එවැනි දෙයක් දක්නට නැති බවත් දිනකට කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ අඩුවීම නිසා එහි දත්ත පදනම් කරගෙන රෝගය පැතිරීම අඩු වී ඇතැයි කියන කාරණය පිළිගත නොහැකි බව ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.