කොරෝනා පෙන්වා හාම්පුතුන්ට ඊ.පී.එෆ්. අරමුදලේ සල්ලි නොගෙවන්න බෑ


(දයාසීලි ලියනගේ)   

කොරෝනා තත්ත්වය හෝ වෙනත් කිසිදු හේතුවක් මත සේවක භාරකාර අරමුදල සඳහා ගෙවීම් අත්හිටුවීමට සේව්‍යයන්ට හැකියාවක් නොමැති බව සඳහන් වේ.   

මේ පිළිබඳව කළ විමසීමේදී කම්කරු කොමසාරිස් (සේවක භාරකාර අරමුදල) ලලිත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අදාළ පනතට අනුව සේව්‍ය-සේවක දෙපක්ෂයෙන්ම දායක මුදල් ගෙවිය යුතු වෙන අතර එහි වෙනසක් සිදු කළ යුතුනම් අදාළ පනත සංශෝධනය කළයුතු බවය. 

 
කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවී තිබෙන පාඩුව නිසා, සේවක භාර අරමුදලට දායක මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සේව්‍ය අංශ ගණනාවක් ඉල්ලීම් කර ඇති බවද ඒ මහතා කීය.   


සේවක භාර අරමුදල ගෙවීම ප්‍රමාද වෙන විට අය කෙරෙන අධිභාරය සම්බන්ධයෙන් යම් සංශෝධන කළ හැකි බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. 

 
අරමුදල් ගෙවීම දින 10ක අඩුකාලයක් ප්‍රමාද වුවහොත් සියයට 5ක්ද, දින 10 සිට මාසයක කාලයකට සියයට 15ක්ද, මාසයක සිට මාස 3ක කාලයක් සඳහා සියයට 20ක්ද, මාස 3 සිට 6 දක්වා සියයට 30ක්ද, මාස 6 සිට මාස 12 දක්වා සියයට 40ක්ද මාස 12ට වැඩි කාලයක් වෙනුවෙන් සියයට 50ක් වශයෙන් අධිභාරයක් පනවනු ලබයි.   


ඒ අනුව සේවක භාර අරමුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට නොහැකි වෙන අතර එම අදාළ පනතට අනුව අධිභාරය සම්න්ධයෙන් යම් සංශෝධනයක් කළහැකි බව කම්කරු කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.