කොටින්ගේ බඩු මුට්ටු උතුරට ඉල්ලයි සිවාජිලිංගම්ගේ යෝජනාව පළාත් සභාවට


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා ජනතාව පරිහරණය කළ භාණ්ඩ ඒකරාශි කර උතුරේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනාගාරයක් ඉදිකළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. 


උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රදර්ශනාගාරය පිහිටුවීම සඳහා වන යෝජනාව කඩිනමින් පළාත් සභාවට ඉදිරිපත් කරන බවය. 

දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කළ පිරිස පිළිබඳ මතකය ඉදිරි ජනතාවට දැන ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය.  යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා ජනතාව පරිහරණය කළ බොහොමයක් දෑ දැනටත් උතුරේ තැන් තැන්වල තිබිය හැකි බවට විශ්වාස කරන බවද ඒ මහතා පැවැසීය.  


මීට අමතරව දැනට ශ්‍රී ලංකා හමුදාව බාරයේ පවත්නා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සම්බන්ධ බඩු බාහිරාදිය මෙම ප්‍රදර්ශනාගාරයට ලබාගැනීමට ඇති හැකියාව සොයා බලන බවද සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳ යෝජනාව ලබන සතිය වනවිට පළාත් සභාවට ඉදිරිපත් කරන බවද ඒ මහතා පැවැසීය.