කෙරවලපිටියේ වායු බලාගාරයට විදුලියේ නිලධාරීන්ගෙන් බාධා!


(දයාසීලි ලියනගේ) 

විදුලිය හිඟයට පිළියමක් ලෙසට කෙරවලපිටිය වායු බලාගාරය (LNQ) පිහිටුවීමේ කටයුතු ලබන 1 වැනිදාට පෙර ආරම්භ කරන ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා විසින් දෙන ලද නියෝගය ක්‍රියාත්මකට කිරීම විදුලිබල අමාත්‍යංශයේ ප්‍රබල නිලධාරියෙක් බාධා එල්ල කර ඇති බව වාර්තා වේ. 

මෙම බලාගාරය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය දක්වා ඇති අතර ටෙන්ඩර් අනුමැතිය ද ලබාදී ඇතත්, නීතිපති උපදෙස් ලබාගත යුතු බව සඳහන් කරමින් මෙම ඉදිකිරීම් කල් දැමීම සිදුවෙන බව එම නිලධාරියා ප්‍රකාශ කර ඇත. 


ලබන මැයි මාසය දක්වා වැසි නොලැබුණහොත් බරපතළ තත්ත්වයක් ඇති වෙන නිසා මාස 6කට මෙ.වො. 100ක හදිසි විදුලි මිල දී ගැනීමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය. 


හදිසි මිලදී ගැනීම් සෑම වර්ෂයකම සිදුකිරීම වැළැක්වීම සඳහා LNQ බලාගාරය පිහිටුවීම වහාම ආරම්භ කරන ලෙසට උපදෙස් දී ඇත. 


පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් මෙම බලාගාරය පිහිටුවීම තවත් කාලයකට දිග්ගැසීමට ඉඩ තිබෙන නිසා ඊට පෙර මෙය සිදු කළයුතු බව ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වේ. 


එහෙත් නීතිපතිවරයාගෙන් විමසීමකින් තොරව මෙය කළ නොහැකි බව අමාත්‍යාංශ නිලධාරියෙක් දන්වා අතැයි වාර්තා වේ. නීතිපතිවරයාගෙන් පිළිතුරක් ලබාගැනීම අවශ්‍ය නොවන අතර, එසේ කළහොත් මහ මැතිවරණය පසුවන තෙක් වැඩ ආරම්භ කිරීමට නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දී ඇත.