කෙරවලපිටිය නව බලාගාරය චීනයට


(අජන්ත කුමාර අගලකඩ)  

මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් ස්වභාවික වායු (එල්එන්ජී) විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සඳහා විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට ඉකුත්ද‌ා පැවැති කැබිනට් රැස්වීමේදී මහ නගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

චම්පික රණවක ඇමැතිවරයා විරෝධය පළකළ ද අද‌ාළ ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කෙරවලපිටියේ එල්එන්ජී බලාගාරය ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගම අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති චීන සමාගමකට ටෙන්ඩරය ලබාදීමට එකඟ විය නොහැකි බව චම්පික රණවක ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී පවසා ඇති බව ද වාර්තා විය.  


යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දක්වා ඇති රවි කරුණානායක ඇමැතිවරයා, මෙම බලාගාරය ඉක්මනින් ඉදිනොකළොත් විදුලිය කැපීමකට පවා යාමට සිදුවන බවත් එබැවින් ටෙන්ඩරය චීන සමාගමට ලබාදීම සුදුසු බවත් ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි. කෙසේ වුවද මේ පිළිබඳ නිරීක්ෂණ වාර්තාවක් චම්පික රණවක ඇමැතිවරයා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි ද දැනගන්නට තිබේ.