කුරානය උගන්වන්න ආ විදේශිකයන් 600ක් රට පුරා


(දයාසීලි ලියනගේ සහ උපුල් වික්‍රමසිංහ)   

මුස්ලිම් ඉරිදා පාසල්වල හා අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම සඳහා විදේශිකයන් 600කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමන-විගමන දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී ඇත.   


සංචාරක වීසා මත මෙම පිරිස බහුතරයක් මෙරටට පැමිණ ඇති බව වාර්තාවී තිබුණි.  ආගම ඉගැන්වීමට පැමිණ සිටින මේ පිරිස පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස නියම කර ඇති අග්‍රාමාත්‍යවරයා මෙම ගුරුවරු සියලු දෙනා ආපසු යැවීමට පියවර ගන්නා ලෙසට ද උපදෙස් දී ඇති බව සඳහන්වේ.   

මේ තත්ත්වය සම්බන්ධයෙන් ​ෙවනම විමර්ශනයක් සිදුකරන ලෙසට උපදෙස් දී ඇති අග්‍රාමාත්‍යවරයා මෙම වීසා ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බලන ලෙසටද උපදෙස් දී ඇත.   
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මද්‍රසා හා අරාබි පාසල්වල ඉගැන්වීම සඳහා විවිධ ඉස්ලාමීය රටවලින් පැමිණි ගුරුවරුන් 38 දෙනකු සිටින බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්. එම්. මලික් මහතා සඳහන් කළේය.   


එයින් 15 දෙනකු ඊජිප්තුවෙන් පැමිණ ඇති බවත් ඔවුන් ගෙන්වූයේ සිය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත ඉකුත් වසරේ දී බවත් කී අධ්‍යක්ෂවරයා ඔවුන්ගේ වීසා කාලසීමාව ලබන මාසයේ අවසන්වීමට නියමිත යැයිද පැවැසීය.   


සෙසු ගුරුවරුන් 23 දෙනා මෙරටට ගෙනවා ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක නොයෙකුත් ඉස්ලාම් සංවිධාන මගින් යැයි ප්‍රකාශ කළ මලික් මහතා එලෙස මෙරටට පැමිණි ගුරුවරුන් සමග ඔවුන්​ෙග් පවුල්වල සාමාජිකයන් දොළොස් දෙනකුද පැමිණ ඇතැයිද කීය. ජෝර්දානය, යේමනය, පාකිස්තානය, බහරෙන් මලයාසියාව, ලිබියාව, තායිලන්තය, ඉන්දියාව යන රටවල්වලින් මෙම අය පැමිණ ඇතැයි හෙතෙම තොරතුරු හෙළි කළේය.   


ඊට අමතරව මෙරට පැමිණ සිටින විවිධ රටවල් නියෝජනය කරන ශිෂ්‍යයන් 85 දෙනකු ඉස්ලාම් පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින බව ද ඒ මහතා වැඩි දුරටත් පැවැසුවේය.