කිරිපිටි සමාගමකින් ඇමැති කීපදෙනකුට අත යට සැලකිළි


(නිශාන්ත කුමාර බණ්ඩාර) 
ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක් මෙරට කිරිපිටි වෙළඳපොළ ආක්‍රමණය කර ඇති නිසා දේශීය කිරි කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. 

ඇතැම් මැති ඇමැතිවරුන්ද එම සමාගමේ වරප්‍රසාද භුක්ති විඳින බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී චෝදනා කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි. 


එම කිරිපිටි සමාගමේ පැවැති අර්බුදයකදී සමාගම පිහිටි රටේ විදේශ අමාත්‍යවරයා පවා මැදිහත් වී ඇති බවත් අපේ රටේ සමහර මැති ඇමැතිවරුන්ද විවිධ වරප්‍රසාද ලබා ගනිමින් එම සමාගමට සහාය දක්වන බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ග පැවැසීය. එම සමාගමේ මව් ශාඛාවේ අතිරික්ත නිෂ්පාදන ලංකාවට ගෙන්වා වෙළෙඳපොළේ කිරිපිටි ඒකාධිකාරියක් පවත්වාගෙන යන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. එයට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් වහාම දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව එම ආරංචි මාර්ග පැවැසීය.