කිරිපිටි මිල වැඩි කිරීමට සමාගම් අවසර පතති


(මහින්ද නිශ්ශංක)  

කිරිපිටි කිලෝවක් රුපියල් 70කින් පමණ වැඩි කිරීම සඳහා ආනයන කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.  

ඩොලරයේ අගය රුපියල් 160 දක්වා ඉහළයාම සහ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවෙමින් පැවැතීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා හා ගැටලු පැන නැඟී තිබෙන බැවින් කිරිපිටි මිල නැවත වැඩි කිරීමට සිදුවී ඇතැයි කිරිපිටි සමාගම් පවසයි.  


දැනට කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා වැට් බද්දක් අයකරන බවත් පෙන්වාදෙන කිරිපිටි සමාගම් එම වැට් බදු සඳහා සංශෝධනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවත් වැට් බදු සංශෝධනයක් ලබා දෙන්නේ නම් කිරිපිටි මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද කියා සිටී.මීට මාස කීපයකට පෙර ලෝක වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 3250ක් ලෙස පැවැති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් මේ වනවිට ඩොලර් 3450 දක්වා වැඩිවී තිබෙන බවද පවසන සමාගම් මීට පෙර කිරිපිටි කිලෝවක් සඳහා ඉල්ලා සිටි රුපියල් 75 වැඩිවීම ලබා දුන්නේ නම් තව මාස දෙකක් පමණ මිල වැඩිනොකර පවත්වාගෙන යාමට හැකිව තිබූ බවද කියා සිටී.  


කිරිපිටි සමාගම් ඉල්ලා සිටින වැට් බදු සංශෝධනය හෝ මිල වැඩිවීමක් කඩිනමින් ලබා නුදුන්නොත් මේ මස අවසානයේ සිට සමාගම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා ඇතිවන බවද සමාගම් වැඩිදුරටත් කියා සිටී.