කිරි පිටි-ගෑස් මිල වැඩිවෙන ලකුණු


(මහින්ද නිශ්ශංක) 
කිරිපිටි සහ ගෘහස්ථ ගෑස් මිල වැඩිවීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි හා ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි හා ගෑස් මිල වැඩි කළ යුතු බව පවසන එම සමාගම් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275 කින් සහ කිරිපිටි කිලෝවක මිල රුපියල් 100 කින් වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. 


කිරිපිටි සහ ගෑස් මිල වැඩිකිරීම සඳහා සමාගම් කළ ඉල්ලීම් පිළිබඳව පාරිභෝගික අධිකාරිය සාකච්ඡා කරමින් සිටින බවද අධිකාරිය පවසයි. 


මේ අතර ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකන් ඩොලර් 3250 සිට 3380 ක් දක්වා වැඩි වී තිබෙන බවත් මේ අනුව දැනට පවතින මිලට මෙරට කිරිපිටි අලෙවි කළ නොහැකි බවද සමාගම් පවසයි. 


මෙරටට කිරිපිටි මිල වැඩි කිරීමට අවසර නොදුන්නොත් අවුරුදු සමය තුළදී වෙළෙඳ පොළේ කිරිපිටි හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් පවසන සමාගම් කිරිපිටි ආනයනය කිරීමේදී අයකරන වැට් බද්ද ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.