කැබ්නට්ටුව දිවුරුම් දෙයි


රාජ්‍ය ඇමැතින් පත්කිරීම සඳුදා 

 

(අජන්ත කුමාර අගලකඩ)  

මීළඟ මහ මැතිවරණය තෙක් ක්‍රියාත්මක භාරකාර ආණ්‍ඩුවේ පහළොස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පෙරේදා (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  


එ් අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.  

නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා වශයෙන් ද, ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති වශයෙන් ද දිවුරුම් දුන් අතර, දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේ විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු ඇමැතිවරයා වශයෙනි.  


ඩග්ලස් දේවානන්ද මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙස ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති වශයෙන් ද දිවුරුම් දුන් අතර, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති වශයෙන් දිවුරුම් දුන්නේය.  


ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති වශයෙන් ද, චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන ඇමැති වශයෙන්ද, ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති වශයෙන් ද දිවුරුම් දුන්හ.  


ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය, නාවික කටයුතු, මාර්ග සහ මහාමාර්ග ඇමැති ලෙසද, මහින්ද අමරවීර මහතා විදුලිබල හා බලශක්ති, මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැතිවරයා ලෙසද, විමල් වීරවංශ මහතා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති ලෙසද දිවුරුම් දුන් අතර, ප්‍රසන්න රණතුංග මහතා කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ලෙස දිවුරුම් දුන්නේය. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම ඇමැති වශයෙන් දිවුරුම් දුන්නේය. එස්.එම්. චන්ද්‍රසේන මහතා පරිසර හා වනජීවි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.  
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැති ධුර දෙකක් හිමිව ඇත. සෙසු පක්ෂවල නායකයන් ලෙස දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට ද ඇමැති ධුර හිමිව තිබේ.  


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, එස්.එම්. චන්ද්‍රසේන, වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඇමැති ධුර හිමිව ඇත.  


නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී නීතිය හා සාමය අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය කිසිදු ඇමැතිවරයකුට පවරා නැති අතර, එම අමාත්‍යාංශ දෙකට අදාළ විෂය පථයන් හා ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇත.  


මේ අතර, රාජ්‍ය ඇමැතිවරුන් පිරිසක් හෙට (25) දිනයේ පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී ප්‍රකාශ කළේය.