කසළ ප්‍රශ්නය විසඳුමට පනතක් සකස් වෙයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)
මින් ඉදිරියට රටපුරා කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් මගින් පැහැදිලි නීතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.


ඒ යටතේ කුණු රැස් කිරීම, වර්ග කිරීම, බැහැර කිරීම, බැහැර කෙරෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා නව නීති රාමුවක් හඳුන්වා දෙනු ලබන බව මහවැලි සංවර්ධන හා පාරිසරික කටයුතු නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා කීය.


දැනට කුණු ඉවත් කිරීමේ කටයුතු අවිධිමත් ලෙස සිදුවෙන අතර පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය නොකෙරේ.


දැනට කුණු දමන භූමියේ කාල සීමාව නිර්ණය කොට ඒ කාලය තුළ පමණක් කුණු බැහැර කිරීමද අනිවාර්යය කෙරේ.


කුණු බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදයක් හෝ නිසි අධිකාරියක් නොමැතිවීම නිසා මෙම ගැටලුව මතුවූ බවත් මින් ඉදිරියට ඒ සඳහා වෙනමම අධිකාරියකට බලය පවරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


දැනට සිදුකෙරෙන්නේ සියලුම වර්ගවල කුණු ඒකරාශි කොට අදාළ ස්ථාන වෙත බැහැර කිරීමකි.


 මින් ඉදිරියට කුණු වර්ගීකරණය කොට ඒ ඒ අදාළ ස්ථාන වෙත පමණක් බැහැර කිරීමට නව නීති තුළින් හඳුන්වා දීමට ක්‍රියා කරන බව ඔහු ප්‍රකාශ කළේය.


කඩිනමින් එම නීති සකස්කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.