කසළ අයින් කරන්න බුරුතු පිටින් රට ගිහින්


 

(දයාසීලි ලියනගේ) 
කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණුව සඳහා විවිධ රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150කට අධික පිරිසක් විටින් විට විදේශ ගතවී ඇතත් ඉන් කිසි ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව ඉරිදා ලංකාදීපයට වාර්තා වේ. 


ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාත් සභාවේ ඉහළ නිලධාරීන් ඇතුළුව මෙම පිරිස ජර්මනිය, එංගලන්තය, අයර්ලන්තය, කොරියාව ආදී රටවල සංචාරය කර ඇත. 


කසළ  කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, විදුලිය නිෂ්පාදනය ආදී කටයුතු අධ්‍යයනය කිරීම සඳහා මොවුන් විදේශ ගතවී තිබූ අතර මෙම චාරිකා සඳහා වැය වූ මුදල නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද වාර්තා වේ. 


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහනගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ නිලධාරීන් කණ්ඩායම් කීපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් හැදෑරීමට පිටරට ගොස් ඇති බවයි. 


බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේ  තමන්ගේ පාලන කාලය තුළ කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා  නිලධාරීන් කණ්ඩායම් එංගලන්තයට යැවූ බවයි. 


මේ අතර කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවල ඒ සඳහා ඉදිරිපත් වූ ආයතන තම හැකියාව පෙන්නුම් කිරීම සඳහා නිලධාරීන් ඒ රටවලට කැඳවාගෙන ගොස් ඇති බව ද වාර්තා වේ. 


කොළඹ කුණු රැඳවූ මීතොටමුල්ල කුණු කන්ද ඉකුත් 14 වැනිදා කඩා වැටුණු අතර එයින් 32 ක් මියගොස් 11 ක් අතුරුදන්ව සිටිති.