කවසාකි රෝගය වැළඳුන ළමයින් වසර ගණනාවක්ම මෙරටින් වාර්තා වුණා


වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ   

(අසුන්තා එදිරිසූරිය) 

 
ලොව බොහෝ රටවල ‘කවසාකි’ නමින් කුඩා දරුවන් අතර පැතිරී යන රෝගය ශ්‍රී ලංකාවට ආගන්තුක රෝගයක් නොවන අතර, පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙම රෝගය වැළඳුණ දරුවන් මෙරටින් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කීය.   

මෙම කවසාකි රෝගය වසංගත රෝගයක් බවට පැතිරී ඇති කටකතාවලට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව ද වෛද්‍ය සමරවීර මහතා කීය.   


උණ, උගුරේ වේදනාව, දිව රතු පැහැ ගැනීම, නියපොතු අග පුපුරා ලේ ගැලීම, තොල් පැලීම, බෙල්ලේ වසා ගැටිති මතුවීම, සම මතුපිට රතු පැහැති පල්ලම් මතුවීම කවසාකි රෝග ලක්ෂණ වශයෙන් හඳුනාගෙන ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීමේදී හෘදයට බලපෑම් ඇති විය හැකි බව ද වෛද්‍ය සමරවීර මහතා ප්‍රකාශ කළේය.   


කෝවිඩ් 19 වයිරසය හා මෙම කවසාකි රෝගී තත්ත්වය අතර සම්බන්ධතාවක් නොපවතින බව කී ඔහු මෙය බෝ නොවන රෝගයක් ලෙස මෙන්ම දුර්ලභ ගණයේ රෝගයක් ලෙස ද හැඳින්විය හැකි බව ද සඳහන් කළේය.   
මේ අතර මෙම රෝගය වැළඳී ඇති බවට සැකකරන දරුවන් කීපදෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දැනගන්නට ඇත.