කන්ටේනර් ගාස්තුත් අද සිට ඉහළට


(මහින්ද නිශ්ශංක)  

බහාලුම් ප්‍රවාහන (කන්ටේනර්) රථ ගාස්තු අද (20) සිට සියයට 15 කින් වැඩිකරන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.  

ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල වැඩි කිරීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාමේ හේතුව මත බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩි කිරීමේ තීරණයට එළඹි බවද සංගමයේ සභාපති සනත් මහතා කීය.  


අවසන් වරට බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩි කිරීමක් සිදුකරනු ලැබුවේ 2016 දී බවත් පැවසූ ඒ මහතා දුර හා බර ප්‍රමාණය අනුව සිදුකෙරෙන මෙම ගාස්තු වැඩි කිරීම නිසා මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම භාණ්ඩවල මිල ඉහළ යන බව ද පැවසීය.  


මේ වනවිට බහාලුම් ප්‍රවාහන රථ අමතර කොටස්, බැටරි, ටයර්, ලිහිසි තෙල් සර්විස් කිරීම හා කම්කරු කුලිය යනාදියේ මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇති බවත් පැවසූ සභාපති සනත් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් වරායට පිවිසීමේ ගාස්තු රුපියල් 360 සිට රුපියල් 12000 දක්වා සියයට 4000 කින් වැඩිකර ඇතැයි ද මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්​ෙග් සංසදයේ විධායක කමිටුව ගාස්තු වැඩිකිරීමේ තීරණය ගත් බවද කීය.