ඕමාන් රටේදී අතවරයට ලක්වූ ගෘහ සේවිකාවට තවමත් සාධාරණයක් නෑ සිද්ධියට දැන් වසර තුනයි


 

(මෙවර ජනතා අධිකරණයෙන් ඉදිරිපත් කරන්නේ මීට වසර තුනකට පමණ පෙර ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිට ගෙදර එන්නට පවා සිදුවූ ගබ්සා සිද්ධියට තවමත් සාධාරණයක් වී ඉෂ්ඨ නොවීම ගැනයි.)


‘ඕමාන් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේදී කාන්තාවකට ගබ්සාවක් කරලා.’ මේ ආන්දෝලනාත්මක තොරතුරු ලැබුණේ ලංකාදීපයේ ගුවන්තොටුපොළ මාධ්‍යවේදිනිය ලෙස කටයුතු කරන දීපා අධිකාරීටය. තොරතුරුකරු විශ්වාසනීය පුද්ගලයකු වුවද තවත් තැන් තුනකින් පමණ විමසා එය තහවුරු කරගත් ඇය එය ප්‍රවෘත්තියක් ලෙස පළ කළාය.


කරුණු එකිනෙක දිගහැරෙන්නට පටන් ගත්තේ ඒ සමඟය.


පවුල ජීවත් කරවීමට ඇය ඕමානය බලා යන්නේ  2014 ජනවාරි 13 වැනිදාය. හාම්පුතාගේ අතවරයට පත්වීමෙන් පසු  ඇය ඕමානයේ රැකියා ඒජන්සියට යන්නේ 2014 අප්‍රේල් පළමු වැනිදාය. එතැන් සිට ඒජන්සිය භාරේ සිටි කත අප්‍රේල් 29 වැනිදා තානාපති කාර්යාලයට ගෙනවුත් භාරදෙනු ලැබුවාය. කාන්තාව ගබ්සාවකට ලක්කළේ යැයි චෝදනා එල්ල වූයේ ඇය තානාපති කාර්යාලය රැකවරණයේ සිටියදී ය.


ඇය තානාපති කාර්යාලයට පැමිණිදාම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවත්, ඇය ගැබ් ගෙන නැතැයි එමගින් තහවුරු වූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කීහ. එය සනාථ කරන වෛද්‍ය පර්යේෂණ වාර්තා හතරක් ද එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට ලබා දුන්නේය. ඕමානයේ පෞද්ගලික රෝහලකින් කර තිබූ එම එක් වෛද්‍ය වාර්තාවක නම ඉදිරියෙන් මේ කාන්තාවගේ නම ද, පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ නම ඉදිරියෙන් ‘බාහිර රෝගී’ ලෙස ද, ස්ත්‍රී පුරුෂ භාවය ඉදිරිපිටින් ‘පුරුෂ’ ලෙසද සඳහන්ව ඇත. හාස්‍යයට කරුණ නම් ගැබ් පරීක්ෂාව කර ඇත්තේ පිරිමියකු වෙනුවෙන් වීමය.   


අතවර සිද්ධිය හා ගබ්සා සිද්ධිය 2014 මැයි 26 වැනිදා ලංකාදීප මුල් වරට අනාවරණය කරන තුරු මේ කාන්තාවට හාම්පුතාගෙන් අතවරයට පත්වීම ගැන තානාපති නිලධාරීන් පොලිසියට පැමිණිලි කර තිබුණේ නැත.  එමෙන්ම අතවරයට පත්වීදැයි සෙවීමට වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර තිබුණේ ද නැත. ඇයට දරුවකු ලැබීමට සිටීදැයි කළ පරීක්ෂණයක දී ඇයට දරුවකු ලැබීමට නැතැයි කීමෙන් ඇය දූෂණයට ලක්වී නැතැයි කිව නොහැකිය. මන්ද උපත් පාලන විදි රැසක් පවතිද්දී කාන්තාවකට අතවරයක් වන සෑම අවස්ථාවක දීම දරුවන් නොලැබෙන බැවිනි.


ලංකාදීප සිද්ධිය වාර්තා කිරීමෙන් පසු 2014 මැයි මස 29 වැනිදා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිගාහම මහතා අතවර සිද්ධිය හා ගබ්සා සිද්ධිය ගැන එරට පොලිසියට පැමිණිලි කළේය. ඉන් පසු ජූනි 11 වැනිදා ඇය අතවරයට පත්වීදැයි සෙවීමට අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කරනු ලැබුවාය. ඒ වන විට ඇය සුරක්ෂා නිවසට පැමිණ මාස එක හමාරක් පමණ ගත වී හමාරය.


එම අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ඇගේ ලිංගික ප්‍රදේශයේ තැලීම් හෝ සීරීම් තුවාල නැති බවයි. එනමුත් ඇය ලිංගික අතවරයකට ලක් නොවූවායැයි කිව නොහැකි බව ද එහි සඳහන් විය. අතවරයට ලක්වී බොහෝ කාලයක් ගත වී ඇති නිසා ඇයට අතවරයක් වීදැයි සෙවිය නොහැකි බවද තවත් කරුණු රැසක්ද එම වාර්තාවේ සඳහන් විය.


ඉන් පැහැදිලි වෙන්නේ ඇය තානාපති කාර්යාලයට ආ දිනයේම පොලිසියට පැමිණිල්ලක් කර පොලිසිය මාර්ගයෙන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළේ නම් අතවරයක් වී ඇති නම් ඇතැම් විට එය සනාථ වීමට ඉඩ කඩ තිබූ බවයි. 


අශෝක ගිරිහාගම මහතා සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ ලංකාවේ දේශපාලන හස්තයක්ද ක්‍රියාත්මක විය. ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ගිරිහාගම වහාම කොළඹට කැඳවනු ලැබීය. ඔහු ලංකාවට පැමිණීමට පෙර ජූනි 17 වැනිදා මේ වෛද්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට එවා තිබිණි.


කරුණු මෙසේ වෙද්දී ඇගේ අත් අකුරින් ලියූ ලිපියක් ලංකාවට ආවේය. ‘මම රැකියාවක් සඳහා මෙම රටට පැමිණියේ 2014.01.13. මාගේ හාම්පුතා ඇවිත් එම නිවසට ගෙන ගියා. ඊට පසු එහි මා හොඳින් සේවය කර ගියා. ඔහුගේ අමුතු හැසිරීම් ද මා දුටුවා. ඔහු දිනක් මාගේ කාමරයට පැමිණ බලහත්කාරයෙන් මාව දූෂණය කරා. මම ඊට පසු මට ලැබෙන්නට සිටි දරුවා මේ මිස්ලා මාව අරගෙන ගිහින් බේත් දී දරුවා නැති කරා. මීට පෙර මා සාධාරණය බලාපොරොත්තුවෙන් ලිපි දෙකක් ඉදිරිපත් කරා. ඒත් තවම මට කිසිදු සාධාරණයක් උනේ නැහැ. මේ තානාපති කාර්යාලයේ සේවය කරන (නම් දෙකක් සටහන් කර ඇත) දෙදෙනා මගේ බඬේ හිටපු දරුවා නැති කරලා දැන් මාව බය ගන්වා මට කියලා ලියුම් ලියා ගන්නවා. එයාලා මගේ දරුවා නැති කරේ නෑ කියලා මම බයට ලියලා දුන්නා මගේ අසරණකමට. මේ ප්‍රශ්නයට මට ඔයාලගෙන් උදව් අවශ්‍යයි. මට සාධාරණයක් ඉෂ්ඨ කර දීලා මට මගේ මව්බිම බලා යාමට උදවු ලබා දෙන්න.’


ඒ ඇගේ ලිපියයි. ඇය කෙතරම් අපහසුතාවට පත්වී ඇත්දැයි එම ලිපියෙන් මොනවට පැහැදිලිවේ. 


එම ලිපිය ගැන මාධ්‍ය තොරතුරු හෙළි කිරීමෙන් පසු තානාපති කාර්යාල සුරක්ෂා නිවසේ උදවිය ඇය ලවා බලහත්කාරයෙන් තවත් ලිපියක් ලියවා ගත්හ. එය ලංකාවට එවූහ. ඇගේ ඇඟිලි සලකුණ සහිත එම ලිපියෙන් ඇය වියත් ලෙස කියා තිබුණේ තමන් හොඳින් සිටින බවයි. මේ කාන්තාව ගැන හොඳින්ම දන්නේ අන් කවරකුවත් නොව ඇගේ සැමියාය. ඇඟිලි සලකුණද තබා ඇති දෙවැනි ලිපිය කියවූ සැණින් සැමියා කීවේ මෙවැනි ලිපියක් ලිවීමට බිරියට හැකියාවක් නැති බවයි. මෙය කිසිවකුගේ කීමකට අනුව හොඳින් වාක්‍ය ගලපා ලියූ ලිපියක් බව හොඳින් පෙනෙන්නේයැයි ද සැමියා කීවේය. 


තම බිරිය ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහු විදේශ සේවා නියුක්ති කාර්යංශයට කෙතරම් ඇවිටිලි කළත් පළක් නොවීය.


ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රියකගේ කැමැත්ත නොමැතිව ගබ්සා කිරීමට දිය හැකි දඬුවම අවුරුදු විස්සක කාලයකට සහ දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම  සහ දඩ මුදලක්ය.  


ඕමානයේ සිද්ධිය ගැන ජනමාධ්‍ය දිගින් දිගටම අනාවරණයන් කරන්නට විය. ඒ ගැන කිපුණු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් දීපා අධිකාරී මාධ්‍යවේදිනියට දුරකතනයෙන් තර්ජනය කළේය. 


අවසානයේ මේ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට එවකට විෂය භාර ඇමැති ඩිලාන් පෙරේරා තීරණය කළේය. සහකාර පොලිස් අධිකාරීවරියක්, විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරිනියක් හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් එහි සාමාජිකයෝ වූහ.


මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් කළ යුතුව තිබුණේ සුරක්ෂා නිවසේ භාරයේ සිටින අගතියට පත් කාන්තාව ලංකාවට ගෙන්වීම වුවත් එය කළේ නැත.  කමිටුව ඇගෙන් ප්‍රකාශ ගත්තේ සුරක්ෂා නිවස බාරයේ සිටියදීමය.  


මේ සිද්ධියේ ප්‍රශ්න ගත කාන්තාවට ඕමාන් හාම්පුතා අතින් අතවරයක්වී යැයි විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයට පැමිණිලි ලැබෙනුයේ අප්‍රේල් 16 වැනිදාය. ඇගේ සැමියා විසින් කළ පැමිණිල්ලේ ඇයට අතවරයක් වී ඇතැයි දැන්වූ බව පැහැදිලිවම සඳහන්ව තිබිණි. ඇය සුරක්ෂා නිවසට ගෙන්වා ගන්නේ අප්‍රේල් 29 වැනිදාය. ඒ පැමිණිල්ලෙන් දින 13කට පමණ පසුය. කාන්තාවකගේ ජීවිතයට අදාළ කරුණක් සම්බන්ධයෙන් සැමියා කළ පැමිණිල්ල විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයෙන් ක්ෂණිකවම විභාග කර තිබුණේ නැත. තමාට අතවරයක් වීයැයි සහ මාසික ඔසප් නතර වීයැයි කියමින් ඕමානයේ සුරක්ෂා නිවසට අප්‍රේල් 19 වැනිදා කාන්තාව පැමිණි අතර සුරක්ෂා නිවසේ උදවිය මුලින්ම කළ යුත්තේ ඇය පොලිසියට කැඳවාගෙන ගොස් පැමිණිල්ලක් කරවීමය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.


ලංකාවට ආ කාන්තාව තමාට වූ අකරතැබ්බය ගැන අකුරක් නෑර ලංකාදීපයටත් තවත් මාධ්‍ය ආයතනයකටත් හෙළි කළාය. 
ඉන් පසු ආණ්ඩු මාරු විය. ඇමැතිවරුන් මාරු විය. තමන්ට සාධාරණයක් වෙතැයි ඇය මෙන්ම ඇයට උදව් උපකාර කළ උදවිය සිතූහ. නමුත් කිසිවක් සිදුවූයේ නැත. අද වෙන විට ඇයට බලපෑම් කළ, ඇයට හිරිහැර කළ සියලු නිලධාරීහු උසස් තැන්වලට පත්වීම් ලැබ සිටිති. සිද්ධියට දැන් වසර තුනකි.  කාන්තාවට තවම සාධාරණයක් නැත. 


(අසාධාරණය ගැන සෙවූ තානාපති අශෝක ගිරිගාහම කබලෙන් ලිපට වැටුණු හැටි පසුව...)

සටහන : තරිඳු ජයවර්ධන සහ
බිඟුන් මේනක ගමගේ