ඔරලෝසු 500ට වියදම ලක්ෂ 20යි


(දයාසීලි ලියනගේ)  

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපා හරින ලෙසට මුදල් අමාත්‍යංශය මගින් චක්‍රලේඛයකින් උපදෙස් දී තිබිය දී රජයට සම්බන්ධ ආයතනයක් බිත්ති ඔර්ලෝසු 500කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.  මුදල් අමාත්‍යංශ චක්‍රලේඛය දී ඇති උපදෙස් නොසලකා හරිමින් මෙම මිලදී ගැනීම් කර ඇති බව සඳහන් වේ.  

එම ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ තට්ටු 13ක් සඳහාම ඔර්ලෝසු මිලදී ගෙන ඇති අතර මෙම ඔර්ලෝසු සඳහා ලක්ෂ 20කට අධික මුදලක් වැය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.  


මීට අමතරව මෙම ආයතනයට අලුතෙන්ම මිලදී ගෙන ඇති පුටු ගණනාවක්ම මේ වනවිට අබලන් වී පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති බවද සඳහන් වේ.  ආයතන ගොඩනැගිල්ල අලුතෙන්ම සාදා පදිංචි වී අවුරුද්දක් ගතවීමටත් පෙර බිමට ඇල්ලු පිඟන් ගඩොල් ගැලවී ජරාවාස වී ඇති බවද කියති.