ඒකාබද්ධයේ උද්ඝෝෂණය 5 වැනිද‌ා


(දයාසීලි ලියනගේ සහ නාලක සංජීව දහනායක)  

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන ජනබලය කොළඹට උද්ඝෝෂණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බද‌ාද‌ා (5) පස්වරු 2.00 ට කොළඹ දී 
පැවැත් වේ.  

ජීවන අර්බුදය, පළාත් සභා මැතිවරණය කල් දැමීම, විරැකියාව, ජාතික සම්පත් විකිණීම, රණවිරුවන් හා මහා සංඝරත්නය සිරගත කිරීම වැනි කරුණු රාශියක් මූලික කරගනිමින් මෙය පැවැත් වේ.  


කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන පහක දී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කර තිබේ. එහෙත් උසාවි නියෝග ගෙන එම ස්ථානවල උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කිරීමට ආණ්ඩුව ක්‍රියාකරන බැවින් ඒ පිළිබඳව දැන්ම හෙළි කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 


මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව එය දිගටම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් ද මෙයට සහභාගි වන බව ද සඳහන් කළේය.  


 කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් සහභාගි නොවන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකාවට ගොස් සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසයේදීය.  


කොළඹ නගරයේ සියලුම ප්‍රධාන මාර්ගවලට රට පුරා තරුණ ජනතාව රැස්කරවා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇත.  


 මෙම උද්ඝෝෂණයට සහභාගි වන පිරිස බොහෝ විට දිනයක් හෝ දෙකක් කොළඹ නගරයේ රැඳී සිටීමට සැලසුම් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. අරමුණ ඉටුවන තුරු නගරයේ රැඳී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.  


 ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ මේ වෙන විට පොලිසිය සතු ජල විදින යන්ත්‍ර 7 ම කොළඹට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 5000 කට අධික ආරක්ෂක පිරිසක් යෙදවීමට සැලසුම් කර තිබෙන බව ද ඔහු කීය.  


රජයට එරෙහිව පවත්වන මෙම සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයට ලක්ෂ 3 කට අධික තරුණ පිරිසක් සහභාගි වන බව ද ඔහු කීය.