එල්.ටී.ටී.ඊ සංවිධානය මත් ද්‍රව්‍ය ජාවාරම්කළ බවට සාක්ෂි නෑ


උතුරේ හිටපු මහ ඇමැති

(නිශාන්ත කුමාර බණ්ඩාර) 


එල්.ටී.ටී.ඊ. සංවිධානය මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.  

2019 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ. නායකයා හෝ එම සංවිධානය හෝ මත් ද්‍රව්‍ය ජාවාරම් කළ බවට කිසිදු සාක්ෂියක් නැතැයි පසුගියදා පැවැති උත්සවයකදී ඔහු සඳහන් කළේය.   
ජනාධිපතිවරයා කළ ප්‍රකාශ පදනම් විරහිත බව ද කියා සිටින හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය යම් ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාකළ බවත් මත් ද්‍රව්‍ය භාවිත කිරීම හෝ ජාවාරම් කිරීම පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් හෙළිවී නැතැයි ද ප්‍රකාශ කළේය.  


මේ බව ජනාධිපතිවරයාට තමන් කරුණු පැහැදිලි කර දුන් අතර එසේ චෝදනා කරන්නේ නම් එය සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසද විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා වෙත පවසා තිබේ.  


ඒ නිසා එවැනි පදනම් විරහිත ප්‍රකාශ හෙළා දකින බවත් 2009 වසරින් පසු උතුරේ මත් ද්‍රව්‍ය ජාවාරම යම් දුරකින් ඉහළ ගිය බවද උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.