එජාපයේ දෙතුන් දෙනෙක් පක්ෂයට වෛරසයක් වෙලා


(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)  

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින දෙතුන් දෙනකු පක්ෂයට වෛරසයක් වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.  

දිගු කලක නිහැඬියාව හමාර කරමින් ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට එක්වූ ඒ මහතා මෙම අදහස් පළ කළේය. අපට ඇණ ගසන්න හදන්නේ අපේම පක්ෂයේ අය යැයි ද රවී කරුණානායක මහතා මෙහිදී පැවැසීය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එජාපය නැති කරන වැඩපිළිවෙළක නියැලී සිටින බව කියා සිටි රවී කරුණානායක මහතා දෙවරක්ම මෙරට ජනාධිපතිනිය වූ කුමාරතුංග මහත්මියට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී තම ආසනයේ එකම කොට්ඨාසයක්වත් ජයග්‍රහණය කළ නොහැකි වූ බවද පැවසුවේය.  


කවුරුන් මොනවා කීවත් රට තුළ දේශපාලන චරිත තුනක් සිටින බව කී ඒ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඒ තිදෙනා බවද ඔවුන්ගේ එකමුතුවකින් හැර මේ රට ගොඩගත නොහැකි බවද පැවසුවේය.