එජාප ශාඛා සමිති පිහිටුවීම ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්


(අංජුල මහික වීරරත්න)  
මැතිවරණ කොට්ඨාස මට්ටමින් ශාඛා සමිති පිහිටුවා ඇති ආකාරය පිළිබඳව සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා විශේෂ කඩාපනින කණ්ඩායම් ආසනවලට යැවීමට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය තීරණය කර තිබේ.  

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මෙම තීරණය ගෙන ඇත්තේ දිවයිනේ ඇතැම් මැතිවරණ කොට්ඨාසවල පක්ෂ ශාඛා සමිති පිහිටුවීම නියමාකාරයෙන් සිදුවී නැති බවට පැමිණිලි ලැබීමෙන් පසුවයි. දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති පිහිටුවීම නොවැම්බර් මස 01 දින වනවිට සම්පූර්ණ කළ යුතු බවට උපදෙස් නිකුත් කර තිබිණ.  


පක්ෂ මූලස්ථානය විසින් දුන් උපදෙස් අනුව කඩිනමින් ශාඛා සමිති පිහිටුවීම සඳහා අතැම් සංවිධායකයින් නිසි ක්‍රමවේදය අනුගමනය කර නැති බවට පක්ෂ මූලස්ථානයට පැමිණිලි ලැබී තිබිණ.  


මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කොළඹ සිට විශේෂ කණ්ඩායම් ආසනවලට යවා ශාඛා සමිති පිහිටුවන ආකාරය පිළිබඳව සොයා බලන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා පැවැසීය.  


පක්ෂ මූලස්ථානයේ උපදෙස් අනුව ක්‍රියා නොකර වංචනික ආකාරයට ශාඛා සමිති පිහිටවූ ආසන සංවිධායකවරුන් පිළිබඳ වාර්තාව එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙන බවද සුදත් චන්ද්‍රසේකර මහතා කීය.