එජාප විරෝධී දැවැන්ත සන්ධානයක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
මෙරට ප්‍රගතිශීලී වමේ සංවිධාන ඒකාබද්ධකොට එක්සත් ජාතික පක්ෂ විරෝධී දැවැන්ත සන්ධානයක් බිහි කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවෙයි.  

දැනටමත් මේ සම්බන්ධයෙන් වමේ දේශපාලන කණ්ඩායම්, පොදුජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.  


එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කලකිරී ඇති එහි ප්‍රබලයන් රැසක් සමඟ ද දැනටමත් සාකච්ඡා කරමින් සිටින අතර බොහෝ දුරට නව සන්ධානය තුළින් ඉදිරියේදී ආණ්ඩු බලයක් පිහිටුවීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.  


බොහෝ දුරට පොදුජන පෙරමුණ නැවත ශක්තිමත්කොට මෙම බලවේග සියල්ල ඊට එක්කොට ශක්තිමත් වැඩ පිළිවෙළක් තුළින් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරන බවද එස්. බී. දිසානායක මහතා පැවැසීය.