එජාප මැතිවරණ සටන ජුලි 1 වැනිදා අරඹයි


(දේශපාලන ලියුම්කරු)  

ජනාධිපතිවරණය හෝ වෙනත් ඕනෑම හදිසි මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරය ජුලි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට එජාප කැබිනට් ඇමැතිවරු ඉකුත් බ්‍රහස්පතින්දා තීන්දු කළහ.  

එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් ඇමැතිවරුන් ගේ සාමූහික එකඟත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කිරීම සඳහා තීන්දු කිහිපයක්ම ගත් බව එජාප මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


මේ යටතේ අමාත්‍යාංශවල අමතර වැඩ කටයුතුවලට වඩා දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් ඇමැතිවරුන්ගේ පූර්ණ කාලයම වෙන් කෙරෙයි.  


දිවයිනම ආවරණය වන අයුරින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද තීන්දු කෙරිණි. රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම් සහ මුජිබර් රහුමාන් යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ප්‍රචාරක වැඩපිළිවෙළ දියත් කිරීමට ද තීරණය කර තිබේ.  


පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කණ්ඩායම් වශයෙන් කැඳවා ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වෙන අතර පළමු කණ්ඩායම් දෙක අඟහරුවාදා සවස 2.00ට සහ බදාදා උදෑසන 9.30ට සිරිකොත මූලස්ථානයට කැඳවා ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.  


ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ගම්පෙරළිය වැඩසටහන සමෘද්ධි වැඩසටහන හා පාසල්වල නව ගොඩනැගිලි විවෘත කිරීමේ කටයුතු ජුලි මස සිට වේගවත් කිරීමට ද ඇමැති කණ්ඩායම තීන්දුකර ඇත. 

 
මින් ඉදිරියට පක්ෂය හා ඇමැතිවරුන් විවේචනය කරන ඕනෑම කෙනකුට එරෙහිව දැඩි පියවරක් ​ගැනීමට ද මෙහිදී තීන්දු කළ බව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.