එජාප ප්‍රාදේශීය කමිටු ප්‍රතිසංවිධානය ඇරැඹේ


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ලබන ජනවාරියේ සිට දිවයින පුරා සියලු එක්සත් ජාතික පක්ෂ කමිටු ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු පුළුල් කෙරේ.  

ශාඛා සමිති ප්‍රතිසංවිධානය කොට එහි කටයුතු වේගවත් කරන අතර දැනට පත්කර ඇති නායක, උපනායක, සංවිධායක තනතුරුවලට අමතරව ලබන ජනවාරියේ සෙසු තනතුරු සඳහා නව කාර්යක්ෂම නිලධාරින් පිරිසක් පත්කරන බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.  
පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සඳහා කඩිනමින් නිලධාරින් පත් කරන බවත් එම ප්‍රතිසංවිධාන කටයුතු වේගවත්ව සිදුකිරීමට උපදෙස් ලබා දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කටයුතු සඳහා ඊට සම්බන්ධ පක්ෂ නායකයන් දිගින් දිගටම සාකච්ඡා කරන අතර පුළුල් ජාතික පෙරමුණක් ලෙස ඉදිරියේදී එම සන්ධානය සූද‌ානම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.  එම සන්ධානයේ කටයුතු ද කඩිනමින් සකස් කරන බවත් ඉදිරි මැතිවරණවලදී එම සන්ධානය යටතේ තරග කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.