එජාප කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම එකට රැස් කරන්න යෝජනාවක්


හෙට බදුල්ලේ රැළිය සජිත්ගේ සහභාගීත්වයෙන්

(දේශපාලන ලියුම්කරු)   

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා එජාප මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් සකස් කරගෙන යන බව වාර්තාවේ.   

එජාප ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල හමුවී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ. මෙම මන්ත්‍රීවරුන් පිරිස ඉල්ලා සිටින්නේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කරන ලෙසය.   


සජිත්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා​ සංවිධානය කරන රැස්වීමක් හෙට (12) බදුල්ලේ දී පැවැත්වේ. දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ද මෙම රැලියට සහභාගිවීමට නියමිත බවය. 

 
ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා පැවැසුවේ විවිධ මතවාදී අදහස් තිබුණ ද මේ වනවිට ඒ සියලු දෙනා සමග සාකච්ඡා කරමින් පවතින බවය.