එජාප පළාත් සභා මන්ත්‍රී සංසදයෙන් අඳෝනාවක්


(දයාසීලි ලියනගේ)   

විසුරුවා හැර තිබෙන පළාත් සභා හය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ බොහොමයක් මන්ත්‍රීවරුන් දැඩි අසීරුවකට පත්වී සිටින බව පළාත් සභා මන්ත්‍රී සංසදය රජයට පෙන්වා දී ඇත.   

උතුරු පළාත හැර අනෙකුත් පළාත් සභා සියල්ලකම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන පළාත් සභා මන්ත්‍රී සංසදය පසුගියදා බත්තරමුල්ල සුහුරුපායේ දී ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පෙන්වා දී තිබේ. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් නොවීම, පහසුකම් නොවීම, පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීම, ආර්ථික අසීරුතා යනාදී කරුණු නිසා මෙම පිරිස දැඩි අසීරුතාවකට පත් වී සිටින බව පළාත් සභා මන්ත්‍රී සංසදය සඳහන් කර ඇත.   


මීට අමතරව උතුරු පළාතේ පළාත් සභා මන්ත්‍රීවරුනට, නැගෙනහිර පළාත් සභාවේ කොටසකට සබරගමු පළාත් සභාවේ එක් අයකුට හා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු දෙදෙනකුට පමණක් තීරු බදු රහිත වාහන ලබාදීමත්, අනෙකුත් සියලුම දෙනාට ඒ අවස්ථාව නොලැබීමත් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු පෙන්වා දී තිබේ. ඇමැති වජිර අබේවර්ධන මහතා මෙහිදී අසාධාරණයට ලක් වී සිටින පළාත් සභා මන්ත්‍රීවරුනට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බවට දන්වා ඇත.