එක්සත් ජාතික සන්ධානය පමාවීම එජාපයට බලවත් හානියක්


ඇමැති මනෝ ගනේෂන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය බිහිකළ යුතු බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානය පවසයි.  

මේ සම්බන්ධව ප්‍රධාන පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය මූලික වී සෙසු පක්ෂ සමග සාකච්ඡා කළ යුතුව ඇතැයි එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.  
එක්සත් ජාතික පක්ෂය විසින් සන්ධානය බිහි කිරීමට පමා කිරීම දේශපාලන වශයෙන් එය එම පක්ෂයට විශාල හානියක් බව ද ඔහු සඳහන් කරයි.  


එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම්කිරීම සම්බන්ධයෙන් තම සන්ධානයට බලපෑම් කිරීමට නොහැකි බවත්, එය එම පක්ෂයේ වගකීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.  


සන්ධානය බිහිවීම පමා කිරීමෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂවල කලකිරීමක් ඇතිවීම හෝ ඉන් බැහැරවීම වැළැක්විය නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.