එකතු වී විසඳාගන්න එජාපයෙන් එකඟතාවක්


(ප්‍රේමකීර්ති රණතුංග)  

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව එකතු වී විසඳා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී තීන්දු වී තිබේ.  

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉකුත් 21 වැනි බදාදා රාත්‍රී පැවැති මෙම සාකච්ඡාවට මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගි වී ඇත.  


එජාප නායකයාට මෙම ඇමැතිවරුන් පෙන්වා දී ඇත්තේ දැනට පවතින අර්බුදය පක්ෂය දෙදරා යෑමකින් තොරව විසඳා ගත යුතු බවය. අගමැතිවරයා ද එම මතය අනුමත කර ඇති අතර එජාපයෙන් සහ එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ද උපදෙස් දී ඇත.  


ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ද මේ බව තහවුරු කළේය. ඒ අනුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඉකුත් බ්‍රහස්පතින්දා සිට දිනපතා සිදු වූ බවද දැනගන්නට ඇත.