එංගලන්තයේ අලුත් කොරෝනා වයිරසය ලංකාවේත් පැතිර යා හැකියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය


(දයාසීලි ලියනගේ)  

එංගලන්තය පුරා පැතිර යන ප්‍රබල ධාරිතාවෙන් යුතු නව කෝවිඩ් වයිරසය ශ්‍රී ලංකාව තුළ ඉතා කඩිනමින් ප්‍රචලිත වීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම​යේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.  

මෙම අලුත් වයිරස ප්‍රභේදය කලින් පැවති වයිරසයට වඩා සියයට 70ක ප්‍රබලතාවකින් යුතු බව ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.  


මෙම නව වයිරස් ප්‍ර​භේදය දැනටමත් නෙදර්ලන්තය ඩෙන්මාර්කය, ඉතාලිය හා ඕස්ට්‍රේලියාව යන රටවල ප්‍රචලිතව ඇති අතර එහි අවදානම ශ්‍රී ලංකාවටත් ප්‍රබලව පවතින බව ඔහු කීය. 

 
එංගලන්තයේ සිට ගුවන් ගමන් තහනම් කිරීමට තීරණය කරන මොහොත වෙන විටත් ගුවන් යානා දෙකක් එංගලන්තයේ සිට පැමිණ ඇති බව වාර්තා වී ඇත.  


එංගලන්තයේ පැතිරී ඇති නව වයිරස ප්‍රභේදය දින දෙකක් ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වී ඇති බැවින් එය ශ්‍රී ලංකාවේ ද ප්‍රචලිත වීමේ ප්‍රබල අවදානමක් පවතින බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.  


මේ තත්ත්වයෙන් රට බේරාගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම, නගර අතර සංචරණ සීමා පැනවීම හා ජනතාවට අවදානම නිසි පරිදි සන්නිවේදනය කළ යුතු බවට රජයට යෝජනාකර ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.