එංගලන්ත මහ මැතිවරණයෙන් අගමැතිගේ පක්ෂයට බහුතර ජයක්


ලන්ඩනයේ දීය (ඒ.එෆ්.පී.)   

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව් පක්ෂය සමත් විය.   
මැතිවරණය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙනි. 

බහුතර බලය සඳහා ආසන 326ක් දිනා ගත යුතු විය. කොන්සවටිව් පක්ෂය දිනාගත් ආසන ගණන 363කි. කොන්සවටිව් පක්ෂය ආසන 350 සීමාව පසු කරද්දී, විපක්ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රමුඛ කම්කරු පක්ෂයට හිමිවී තිබුණේ ආසන 203ක් පමණි.   


1987 වසරෙන් පසු කොන්සවටිව් පක්ෂය ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය මෙය බවත්, 1935 වසරෙන් පසු කම්කරු පක්ෂය ලැබූ දරුණුතම පරාජය මෙය බවත් පැවැසෙයි.   
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී, කොන්සවටිව් පක්ෂය ජය තහවුරු කර ගන්නා බව පෙනී යද්දී, විපක්ෂ නායක ජෙරමි කොර්බින් පරාජය භාර ගත්තේය. කොර්බින් කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද නියමිත යැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කළේය.   


මැතිවරණයක් පැවැත්වීමට හේතු වූයේ අගමැති ජොන්සන් ප්‍රමුඛ පාලක කොන්සවටිව් පක්ෂයට, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකිවීමය. ඉකුත් 12 වැනිදා මහ මැතිවරණය කැඳවනු ලැබුවේ ද අගමැති බොරිස් ජොන්සන් විසිනි.  මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්වෙයි. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමේ අවසන් දිනය ලබන ජනවාරි 31 වැනිදාට යෙදී ඇත. මහ මැතිවරණ ජයත් සමඟ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය පහසුවෙන් සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව් පක්ෂයට හැකිවනු ඇති බව පැවැසෙයි.