ඍණ අගයක් ගත් නිසා ආර්ථික වර්ධන වේගය හංගලා - ආචාර්ය හර්ෂ ද සිල්වා


(දයාසීලි ලියනගේ)   

රටක ආර්ථික වර්ධන වේගය කාර්තු දෙකකදී ඍණ අගයක් ගතහොත් ජාත්‍යන්තර සම්මුතියට අනුව එම රට ආර්ථික අවපාතයට ගිය රටක් වශයෙන් සලකනු ලබන බැවින් මෙරට දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බව දැනගන්නට ඇත.   

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ පළමු කාර්තුවේ වර්ධන වේගය ඍණ 1.7ක් වූ අතර දෙවැනි කාර්තුවේ වර්ධන වේගය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බවයි.   


ලෝක පිළිගත් මතයට අනුව මේ රට ආර්ථික අවපාතයට ගිය රටක් වශයෙන් ප්‍රකාශ වීම වැළැක්වීම සඳහා දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය මෙතෙක් අනාවරණය කර නැති බව ද ඔහු කීය.   


එහෙත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ගණන් බලා තිබෙන බව යැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.   


එම දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මහා පරිමාණ කර්මාන්ත සියයට 23කින් ද විදුලිය සියයට 33කින් ද ඉදිකිරීම් සියයට 73කින් ද වෙළෙඳ කටයුතු සියයට 53කින් ද පතල් කැණීම් සියයට 72කින් ද සේවා කටයුතු සියයට 71කින් ද කඩා වැටී ඇති බව ද ඒ මහතා කීය.   


එක් කාර්තුවක් අවසන් වී දින 75ක් ඇතුළත ආර්ථික සංවර්ධන වේගය ප්‍රකාශයට පත් කළ යුතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.