උමා ඔය කාන්දුව බලන්න ආ නෝර්වේ විශේෂඥයා ගේ නිර්දේශ මෙන්න


 

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් පිිළිබඳව අධ්‍යයනයකින් තොරව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උම​ෙගහි ජලය කාන්දුවීම සහ අදාළ ප්‍රදේශයේ භූගත ජලය සිඳීයාම සිදුවී ඇති බව නොර්වේජියානු වි​ෙශ්ෂඥ බෙන්ට් ඇගර්ට් මහතා ජනාධිපති ​ෙමෙත්‍රීපාල සිරිසේන මහතාට බාරදී ඇති මූලික වාර්තාවේ සඳහන් කර ඇත.

 
නෝර්වීජියානු විශේෂඥ පිරිස දිවයිනට පැමිණ මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට හේතු වූයේ හාරන ලද උමග ඔස්සේ තත්පරයට වතුර ලීටර් 1600 ක් පමණ වූ ප්‍රමාණයක් බලාපොරොත්තු නොවූ ආකාරයට ගලා යාමත් ඒ සමඟම බණ්ඩාරවෙල ප්‍රදේශය වියළී දැඩි පාරිසරික හානිකර බලපෑමක් ඇතිවීමත් සමඟය.  


උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා මේ වන විට නිවාස 8000 ක් පමණ ඉරිතලා විනාශයට පත්වී ඇති අතර ළිං සහ ජල උල්පත් 5000 ක පමණ ප්‍රමාණයක් මුළුමනින්ම සිඳී ගොස් ඇත.  


මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ වැල්ලවායේ සිට හම්බන්තොට දක්වා වාරිමාර්ග සහ අනෙකුත් මිනිස් අවශ්‍යතා සඳහා වන ජලය සැපයීමටය. මීට අමතරව ජල විදුලිය නිෂ්පාදනය කිරීමටද නියමිතව තිබිණි. මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබුණේ 2008 අප්‍රේල් 29 වැනිදාය. 2016 අවසානය වන විට පාරිසරික විනාශය අනාවරණය විය. එදා සිට මේ දක්වා සිදුවී ඇති හානිය සුළුවශයෙන් වත් අඩුවක් වී නැති බව කියති.  


නිවාස ඉරිතැලීම, ගිලා බැසීම, ජලය සිදීයාම ආදී ප්‍රශ්නවලට සෑහෙන කාලයක් තිස්සේ විසඳුම් නොලැබුණ අතර පසුගිය අප්‍රේල් මාසයේ විශාල ජල කාන්දුවක් ඇතිවීමත් සමඟ උමග හෑරීමේ කටයුතු තාවකාලිකව නතර කර දැමීමට අදාළ බලධාරීන්ට සිදුවිය. ඒ අනුව තත්පරයට ලීටර් 1600 ක් පමණ ජල ප්‍රමාණයක් පිටවෙන්නට විය.  

 

 


 ඒ දළ වශයෙන් දිනකට කාන්දු වූ භූගත ජල ප්‍රමාණය ලීටර් 13,824000 කි.  


 සිදුවෙන විනාශය බරපතළ වීම මත කරුණු සොයා බලා වාර්තා කිරීමට ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ අමාත්‍ය කමිටුවක් පත් කරනු ලැබූ අතර ඊට අමතරව විදේශ විශේෂඥයන්​ෙග් සහය ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කරනු ලැබ තිබිණි.  


 ඒ අනුව මෙරටට පැමිණි නෝර්වේජියානු විශේෂඥ කණ්ඩායම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමග හෑරීමේදී සිදුවී ඇති ජල කාන්දුවත්, ප්‍රදේශයේ ජලය හිඳීයාම පිළිබඳවත් මූලික පරීක්ෂණ පවත්වා එම තත්ත්වය වළක්වා ගැනීමට ගතයුතු නිර්දේශ පිළිබඳව වාර්තාවක් පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.  


එම වාර්තාවට අනුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් හා පරිසර බලපෑම් පිළිබඳව අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිසා ප්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම හා අදාළ ප්‍රදේශයේ භූගත ජලය සිඳීයාම සිදුවී ඇති බව ​ෙනා්ර්වේජියානු විශේෂඥයාගේ වාර්තාවේ සඳහන් කර ඇත.  


උමගේ කැණීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල සිමෙන්ති ආලේප කර ඇතත්, ඒවා ජල කාන්දුව වැළැක්වීමට සුදුසු සිමෙන්ති වර්ගයක් නොවන බවද සඳහන් කර ඇතැයි වාර්තා වේ.  


 උමග කැණීම සඳහා යොදා ගන්නා ලද ටනල් බෝරිං යන්ත්‍රය මගින් පිටතට දැනෙන කම්පනය ඉතාම අවම මට්ටමක පවතින නමුත් එම යන්ත්‍රයෙන්ම උමග වටා බිත්තියට සිමෙන්ති ආලේප කිරීම සඳහා යොදාගෙන ඇත්තේ බාල සිමෙන්ති වර්ගයක් බව නෝර්වේජියානු විශේෂඥ බෙන්ටර් ඇගර්ට් මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.  


 මේ නිසා ජල කාන්දුව වළක්වා යථාතත්ත්වයට පත් කිරීම සඳහා උමගේ ඉතිරි කිලෝ මීටර් හතර හමාරේ කැණීම් කටයුතුවලට පෙර විශේෂිත වූ සිමෙන්ති වර්ගයක් භාවිතා කරමින් සිමෙන්ති ආලේප කළයුතු බවද නිර්දේශ කර ඇත. ඒ සඳහා කැණීම් කටයුතුවලට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිතා කළ යුතු බවද සඳහන් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා දැනට භාවිත කරන සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කළ යුතු බව සඳහන් වේ.  


 උමග සඳහා කැණීම් කටයුතු කරනු ලබන්නේ ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් බැවින් වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කරමින් උමග තුළ ස්ථරය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද එම වාර්තාවේ සඳහන් කර ඇත. 

දයාසීලි ලියනගේ