උම්බලකඩ, මාළු, කරවල ආනයන බදු ඉහළ දමයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා ආනයනික මත්ස්‍ය නිෂ්පාදනවල බදු ඉහළ දැමීමට පියවර ගන්නා බව ධීවර, වරාය සංවර්ධන හා බහුදින ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.  

මේ යටතේ උම්බලකඩ, කරවල, මාළුවල ආනයනික බද්ධ ඉහළ දමා තිබේ.  


කරවල මිල ආනයනික බද්ද රුපියල් 52 සිට රුපියල් 127 දක්වා රුපියල් 75කින් ඉහළ දමා තිබේ.  
මාළුවලට දමා තිබූ රුපියල් 150 බද්ද රුපියල් 200 දක්වා රුපියල් 50කින් ඉහළ දමා ඇත.  


උම්බලකඩ දේශීය වශයෙන් නිෂ්පාදනය වන නිසා දැනට තිබෙන රුපියල් 102ක බදු මුදල රුපියල් 302 දක්වා රුපියල් 200කින් ඉහළ දමා ඇතැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.  


මේ අතර කොවිඩ් වයිරසය හමුවේ වසා දමා ඇති ධීවර වරායන්වල තිබෙන මත්ස්‍ය තොග අලෙවි කරගැනීමට නොහැකි නම් ධීවර වරාය කළමනාකරුවන් හරහා දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.  


ඒ අනුව ධීවර සංස්ථාව, උම්බලකඩ හා කරවල දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පිරිස් හා ටින් මාළු දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පිරිස් එකතු වී මිලදී ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.