උපන් දින සැමරුමට ගිහින් මුහුදට බිලි වූ සිසු ජීවිත


 

කලින් කලට උණුසුම් වෙන යාපනය මේ වතාවේදී උණුසුම් වුණේ එකම අවස්ථාවක නොසිතු අයුරින් වටිනා පාසල් සිසු ජීවිත 6ක් මුහුදු රකුසාට බිලිවීම නිසාවෙනි.  


පසුගිය 28 වැනි වනදා යාපනය මණ්ඩතිව් දූපත ආසන්නයේදී ඇසෙන මෙම ඛේදවාචකය නොසැලකිලිමත්කම හා මත්පැන් නිසාවෙන් සිදුවූවක් බවට බොහෝ දෙනාගේ මතය වී ඇත.  


මණ්ඩතිව් දූපතට ආසන්නයේ පිහිටි එලිතිව් ජැටියේ සිට සිසුන් පිරිසක් තෙප්පමක නැගී උපන් දින සාදයක් සැමරීම සඳහා දූපතකට ගිය අතරවාරයේ තෙප්පම පෙරළීමෙන් පාසල් සිසුන් 6 දෙනෙකු මිය ගියේ ජලයේ ගිලීමෙනි.  


උපන් දින සාද ඕනෑ තරම්ය. නමුත් සෑම සාදයකම ඇරඹුම හා නිමාව විවිධාකාරය. මේ කියන්නට යන යාපනයේ අඳෝනාව ද උපන් දින සාදයක ඇරඹුම අවමගුලකින් අවසන් වූ ආකාරය ගැනය.  


දිනය වුණේ අගොස්තු 28 වැනිදාය එදින උදෑසන යාපනය මණ්ඩතිව්හි එළිතිව් ජැටියට යාපනයේ ප‍්‍රසිද්ධ පාසල් කිහිපයක සිසුන් 17 දෙනෙකු රැස් වන්නේ යහලූවෙකුගේ උපන් දින සාදයක් ජයරාමෙට සැමරීමටය ඒ සඳහා ඔවුන් සියලූ දෙනා ස්ථානයක්ද වෙන් කර ගන්නේ ගොඩ බිමක වුවද එය එළිතිව් ජැටියට නුදුරින් වූ මණ්ඩතිව්ය. යාපනයේ මණ්ඩතිව්හි එවැනි කුඩා දූපත් කිහිපයක්ම ඇත මේ දූපතට යා යුතු ළඟම ස්ථානය එළතිව් ජැටිය වූ අතර එම ස්ථානයෙන් තෙප්පමක් ගෙන අදාළ ජැටියට යාමට සිසුන් කථිකා කරගන්නා ලදී.  


මේ අනුව නල්ලූර්, කොක්කුවිල් හා උරුම්පිරායි ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් 17 දෙනෙකු රැස් වී එළිතිව් ජැටියට රැස්වුණේ තෙප්පමක් මගින් මණ්ඩතිව් දූපතට ගමන් කිරීමටය.  


මේ 17 දෙනා මණ්ඩතිව් දූපතට යන්නේ ජයශාන්තන් දිනේෂ් නැමති සිසුවාගේ 18 වැනි උපන් දිනය ජයටම සමරන්නය මේ සඳහා සිසුන් පිරිස මත්පැන් රැගෙන යාමට අමතක නොකළ බවට අසල්වැසි ධීවරයින්ට තොරතුරු ලැබි තිබුණි.  


කෙසේ නමුත් නිවෙස් වලට හොරා යන මෙම ගමනට ඔවුන්ට බෝට්ටුවක් නොතිබීම නිසා ගමනට තොරාගත්තේ තෙප්පමකි. පළමුව තෙප්පමට අසීරුවෙන් හත් දෙනෙකු නැග ගත්තේ දූපතට යන බලාපොරාත්තුවෙනි. නමුත් මේ හත් දෙනාගෙන් හයදෙනෙකුටම පිහිනීමට නොහැකි විය. එළිතිව් ජැටියේ සිට මේ සිසුන් පිරිස ගියේ මීටර් 50 ක් තරම් දුරකටය ඉතා සන්සුන්ව පැමිණි මේ සිසුන් පිරිසගේ සතුට ඉක්මවා ගියේය. ඉන්නා තැන නොදැන, ඇති අවදානම නොසිතාම තෙප්පම උඩ දඟලන්නට වූවේ ඇතැම් සිසුවෙකු දෙන්නෙකු මත්පැන් මද ගතියකින් පානය කර ඇති නිසාවෙනි.  


එකවරම තෙප්පම එක් අන්තයකට බර වූවේ පමණට වඩා වැඩි බරක් දැරීම නිසාමය. මේ හේතුවෙන් තෙප්පම උඩ සිටි සිසුන් හත් දෙනාම ජලයට වැටීමෙන් සියලූ සිසුන් බිය වී කෑ ගැසුණි. බයත් සමග කෑ ගැසීම නිසා සිසුන් 6 දෙනෙකුට වතුර පෙවුණි. අඩිය පොළවෙ ගැසීමට නොහැකි විය. නමුත් සිසුන්ගේ තෙප්පම වැටුණු ස්ථානයේ අඩි 10 ක් වත් ගැඹුරු නොමැති තරම්ය මාරයා සියල්ලට ඉස්සර විය මේ දිහා එළිතිව් ජැටියේ ඉතිරිව සිටි සිසුන් බලා සිට කෑ ගැසුවද අවට කිසිවෙක් ඔවුන්ව බේරා ගැනීමට එම අවස්ථාවේ නොවීය. ජැටිය උඩ සිටි සිසුන්ටද ඒ තරම් පිහිනන්නට නොදන්නාකම නිසාවෙන් ඔවුන්ද කළේ ජැටිය උඩට වී බේරගනියො කියා කෑ ගැසීම පමණි මේ කාලය අතරතුර තෙප්පම පෙරළීමෙන් සිසුන් හත් දෙනාගෙන් සිදම්බරනාදන් සිවනේෂන් නැමති සිසුවා පිහිනන්නට දන්නා නිසාවෙන්ම වතුරට වැටුණු සැනින් ගොඩබිම දෙසට පිහිණුවේ කළහැකි වෙනත් දෙයක් නැති නිසාවෙනි.  


ඒ වන විටත් ජැටියේ සිටි සිසුන් අහල පහළට දිව ගොස් ධීවරයින් පිරිසක් කැටුව එන විටත් සිසුන් හය දෙනෙකුම මාරයාට ගොදුරු වී හමාරය. පසුව ධීවරයින් විසින් ඒ බව අසල පිහිටි නාවික හමුදා නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ කරන ලද සෝදිසි කිරීම් වලින් පසුව මිය ගිය සිසුන් පස් දෙනෙකුගේ සිරුරු පළමුව සොයාගැනීමට හැකි වුණත් උපන් දිනය යෙදී තිබූ ජයශාන්තන් දිනේෂ් නැමති සිසුවාගේ සිරුර හමුවූවේ නාවික හමුදාව විසින් පැය කිහිපයක්ම සිදු කළ කිමිදුම් සෝදිසි කිරීම්වලින් පසුවය.  


ගොඩට පීනා ආ සිදම්බරනාදන් සිවනේෂන් සිසුවා පොලීසියේ ප‍්‍රශ්න කිරීම් වලින්ද පවසා සිටියේ-   
‘‘අපි ගෙවල් වලට හොරෙන් මේ ගමන ආවේ. අද අපේ යාලූවගේ උපන් දිනේ. ඒක නිසා අපි මණ්ඩතිව් දූපතට ගිහිල්ලා උපන් දිනේ සමරන්න තමයි හිතන් හිටියේ. යන්න බෝට්ටුවක් නැති නිසා අපි මෙතන තිබුණු තෙප්පමක නැගලා ගියා. ටික දුරක් යනකොට මගේ යාලූවෝ ටිකක් දැඟලූවා. තෙප්පම එකපාරටම ඇලවුණත් එක්කම අපි ඔක්කම මුණින් අතට වැටුණා ඒ වැටුණා විතරයි මට මතක. මම දැනන් හිටියෙත් නැහැ අනිත් අයට පීනන්න බැහැ කියලා. මම පුළුවන් තරම් හයියෙන් ගොඩට පීනල බලනකොට මගෙ යාළුවො කව්රුත් නැහැ. ගොඩ හිටපු යාලූවෝ කෑගහනවා දැක්කා පස්සේ තමයි දැක්කේ මගෙ යාලූවෝ ඔක්කම ජීවතුන් අතර නැහැ කියලා.’’ යනුවෙනි.  


කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජැටියේ නතරවී සිටි සිසුන් 5 දෙනෙකුගෙන් ප‍්‍රකාශයන් ලබා ගැනීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.  


මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණේ සින්නතම්බි නාගසීහලෝචන් (2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත), ලිංගනාදන් රෙජිවුපූර් (2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත) දේවකුමාර් ධනුරදන් (2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි) කෝනේෂ්වරන් සුජින් (2013 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි), ධනුෂ් (2018 උසස් පෙළට පෙනී සිටීමට නියමිත), ජෙයනාන්තන් දිනේෂ් (2019 උසස් පෙළට පෙනී සිටීමට නියමිත) යන සිසුන්ය.  


ජීවිතයේ විඳීමට තවත් බොහෝ කාලයක් ඉදිරිව තිබියදී මතට ලොල් වීම හා නොසැලිකිලමත් කම නිසාවෙන් අකාලයේ මුහුදු රකුසාට මේ තරුණ ජීවිත බිලි වූ බවට යාපනයේ වැසියන්ගේ මතය වෙයි.

 

වන්නි රොමේෂ් මධුෂංඛ