උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය ඇරැඹේ


(නිමන්ති රණසිංහ)   

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියේ සැකකරු වූ රුසියාවේ හිටපු තානාපති

උදයංග වීරතුංග මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.   


මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලැබීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එරටට යොමු කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.   


සැකකාර උදයංග වීරතුංග මහතා මෙරටට පිටුවහල් කරන ලෙසට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව රජයේ අධිනීතීඥ උදාර කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 03 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර තිබිණ.   


මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ රුසියාවේ හිටපු තානාපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 16 වැනිදාය.