උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා නීතිය තද මදි නිසයි


උතුරු මහ ඇමැති විග්​​ෙන්ෂ්වරන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
යාපනය දිස්ත්‍රික්කය තුළ අපරාධවල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.  

බාලවයස්කාර දැරියක් ඝාතනය කිරීම්, සොරකම් කිරීම් වැනි සිද්ධීන් පිළිබඳ පසුගියදා වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය.  


ඇතැම් ස්ථානවල කැපුම් කෙටුම් වැනි සිද්ධීන් ද වාර්තා වී තිබේ.  


ප්‍රදේශයේ තරුණයන්ගේ ආවේගශීලී හැසිරීම් නිසා මෙම තත්ත්වයක් ඇතිවී ඇති අතර මෙයට ප්‍රධාන හේතුවක්වී ඇත්තේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය යාපනය තුළට ව්‍යාප්තවීම බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.  
මේ මත්කුඩු හා මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නතර කිරීම සඳහා කටයුතු කිරීමට ආණ්ඩුව මීට වඩා නීති තර කළ යුතු බව ඔහු සඳහන් කළේය.  


මේ පිළිබඳ පසුගිය දා යාපනයේ සංචාරයක නිරත වූ පොලිස්පතිවරයා සමග සාකච්ඡාකොට නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ජනතාව දැනුවත්කොට මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමුවී තිබේ.  


​මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ වූවන් සඳහා දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුනට දැඩි දඬුවම් ලබාදිය යුතු බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවැසීය.