උතුරු නැගෙනහිර ඡන්ද ගන්න ඒකාබද්ධය දැලක් එළයි


(නාලක සංජීව දහනායක)  

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූද‌ානම් වේ. 

විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්දය ලබා ගැනීමේ අරමුණින් මෙම කාර්ය සාධක බළකාය පිහිටුවන බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.  


එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද ද‌ායකයන් පොදුජන පෙරමුණට ආකර්ෂණය කර ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.  
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනට පැමිණ සිටින අතර ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වන බව ද එම ප්‍රකාශකයා කීය. පසුගිය ජූලි මාසයේදී විදෙස්ගත වූ බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ නොවැම්බර් 10 වැනිද‌ාය. හිටපු ජනාධිපතිවරයාගේ වි​ශේෂ ඉල්ලීමක් මත නියමිත කාලයට මාස දෙකකට පෙර බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණ ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිතව ඇත.