උතුර විග්නේෂ්වරන්ටම දෙන්න ටීඑන්ඒ තීන්දු කරයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍යධුර අපේක්ෂකයා ලෙස නැවතත් සී.වී. විග්නේෂ්වරන් මහතා පත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.  

ඉදිරියේදී මේ සම්බන්ධව විග්නේෂ්වරන් මහතාට දැනුම් දී දෙමළ සන්ධානයේ නායක, විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා සමඟ සියලු නියෝජිතයන් ඒකරාශි වී සාකච්ඡා කිරීමට නියමිතයි.  


උතුරු පළාත් සභාව සඳහා වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් දෙමළ සන්ධානය තුළ ඇතිවන බෙදීම වළක්වා ලීම සඳහා මෙම පියවර ගෙන ඇත. උතුරු පළාතේ මීළඟ අපේක්ෂකයා ලෙස මාවෙයි සේනාධීරාජා මහතා පත්කිරීමට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ​යෝජනා කර තිබේ.  


විග්නේෂ්වරන් මහතාට නැවත වරක් අපේක්ෂත්වය ලබාදීම සම්බන්ධයෙන් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරන් මහතා විරෝධය පළ කර තිබුණි.  


කෙසේ වෙතත් විග්නේෂ්වරන් මහතාට උතුරේ තිබෙන ජනතා ප්‍රසාදය අනුව වෙනත් අයෙකු ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරයට පත් කළ හොත් සන්ධානයට ලැබෙන ජනතාවගේ කැමැත්ත බිඳ වැටෙන නිසා නැවත ඔහුට එම අවස්ථාව ලබාදීමට දෙමළ සන්ධානය තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.