ඉන්දීය ධීවර පැමිණීම වළකන්න නාවික හමුදා මුර සංචාර වැඩි කරයි


(උපුල් වික්‍රමසිංහ)   

මේ දිනවල ඉන්දියාවේ පවතින කොවිඩ් 19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉන්දියානු ධීවරයන් පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදා මුර සංචාර වැඩිකර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට කීවේ කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේ සිටම සාගර කලාපයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් පවතින තත්ත්වය හමුවේ එම මෙහෙයුම් වේගවත් කිරීම පිණිස උපදෙස් දී ඇති බවත්ය.  


මත්ස්‍ය අභිජනන කටයුතු මේ කාලයේ සිදුවෙන නිසා ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට මසුන් මැරීම සඳහා වැඩි වශයෙන් නොපැමිණෙන බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා රටට ඇතුළු වෙන නීති විරෝධී සංක්‍රමණිකයන් හා විවිධ ජාවාරම්කරුවන් හසුකර ගැනීම සඳහා වෙරළ තීරයේ පා මුර සංචාර වැඩි කර ඇතැයිද ප්‍රකාශ කළේය.