ඉන්දියාවෙන් දුන් ගෙවල් පනස්ද‌ාහ දෙමළ මන්ත්‍රී ගෝරියෙන් මඟ නැවතිලා


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුරු හා නැගෙනහිර අවතැන් ජනතාවට නිවාස 50,000 ක් ඉදිකිරීම සම්බන්ධයෙන් දෙමළ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධය දැක්වීම නිසා එම නිවාස ඉදිකිරීමේ කටයුතු දින නියමයක් නොමැතිව ප්‍රමාද වෙන තත්ත්වයක් උද‌ා වී ඇතැයි වාර්තා වේ.  

ඉන්දියානු රජ​යේ ආධාර මත මෙම නිවාස 50,000 ඉදිකිරීමට නියමිතව ඇත.  


මෙම නිවාස 50,000 ඉදිකර දීමට ජාතික ඒකාබද්ධතා හා සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට පැවරූව ද ඊට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු විරුද්ධ වීම නිසා එම කටයුතු ඇණහිට ඇතැයි ද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.  


 නිවාස ඉදිකිරීම සඳහා පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ස්වාමිනාදන් මහතාට පැවරීමේ දී ඊට විරුද්ධ වූයේත් එම දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනායි. දැනට තමන් වෙත ජනාධිපතිවරයා පවරා ඇති නිවාස ඉදිකිරීම සඳහා ද එම මන්ත්‍රීවරුන් දෙදෙනාම විරුද්ධ වීම දෙමළ ජනතාවට කරන විශාල අසාධාරණයක් බව ඔහු පෙන්වා දෙයි.  


 දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන බවට පොරොන්දු වී බලයට පත්වූ දෙමළ සන්ධානය ඔවුන්ගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වෙන අයට බාධා කිරීම තුළින් ඔවුන්ගේ පටු දේශපාලනය පිළිබිඹු වන බව ද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙයි.  


තමන්ට උතුරේ මෙන්ම දකුණේ ජනතාව අතර ඇති ජනතා ප්‍රසාදය ඉවසීමට නොහැකි පටු දේශපාලන වාසි තකා ක්‍රියා කරන දේශපාලනඥයන් පිළිබඳ සමස්ත දෙමළ ජනතාව වෙනුවෙන් කණගාටු වෙන බව ද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙයි.