ඉන්දියන් එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට රුසියන් එන්නත දෙන්න තවම තීන්දුවක් නෑ


රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

(උපුල් වික්‍රමසිංහ)  

ඉන්දියානු කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කළ ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලෙස රුසියානු ස්පුටිනික් එන්නතේ මාත්‍රාවක් ලබා දීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉරිද‌ා ලංකාදීපයට ප්‍රකාශ කළාය. 

පළමු හා දෙවැනි මාත්‍රා එකිනෙකට වෙනස් එන්නත්වලින් ලබා දීම හිතකර හා ආරක්ෂාකාරී බවට අද‌ාළ විද්‍යාත්මක පර්‌යේෂණ  ඔස්සේ තහවුරු වුවහොත් පමණක් මෙරට ජාතික වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේද සම්බන්ධීකරණය ඇතිව ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව හැටියට රුසියාවේ ස්පුට්නික්  එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳ සලකා බලන බව ද ඇය පැවැසුවාය.  


 ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා තවත් ලක්ෂ හයක පමණ මාත්‍රා හිඟයක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරිය එය කඩිනමින් සපයා ගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද කීවාය.