ඉදිරි මාස තුනට අතුරු සම්මත ගිණුමක්


 අය වැය ඉදිරිපත් කිරීම මහ ඡන්දය දිනන පක්ෂයට  

(අජන්ත කුමාර අගලකඩ)  

ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගන්නා තෙක් වියදම් පියවා ගැනීම සඳහා ලබන මාසයේදී අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.  

ලබන මාර්තු මස 31 වැනිද‌ා තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා ඉකුත් රජය පසුගිය ඔක්තෝබර් මස 23 වැනිද‌ා දින අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගෙන තිබිණි.  


 එහෙත් නව රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එම අතුරු සම්මත ගිණුම ප්‍රායෝගික නොවන බැවින්, ලබන මාසයේදී අලුතින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.  


 අය වැය ඉදිරිපත් කර අනුමත කරගන්නා තෙක් ලබන මාසයේදී අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ද ඉකුත් 19 වැනිද‌ා සියලුම අමාත්‍යාංශය ලේකම්වරුන් වෙත යවා තිබූ චක්‍රලේඛයේ ද සඳහන් කර තිබිණි.  


ලබන අප්‍රේල් මස අගදි පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අලුතින් පත්වෙන රජයට හැකිවෙනු ඇත.