ඉදිරි මාර්තු අප්‍රේල් කාලයේ විදුලිය කැපීමේ අවදානමක්!


(දයාසීලි ලියනගේ) 
ලබන මාර්තු - අප්‍රේල් මාසවලදී විදුලිය විසන්ධි කිරීමේ තත්ත්වයකට ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී සිටින බව වාර්තා වේ. 

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ එම කාලය තුළ නොරොච්චෝල විදුලි බලාගාරයේ යන්ත්‍රයක් දින 45ක කාලයක් නඩත්තු කටයුතුවල යෙදවීමට සිදුවීම, මෙගාවොට් 160ක් ලබා ගන්නා කැලණිතිස්ස පුද්ගලික විදුලි බලාගාරයක බරපතළ අලුත්වැඩියාවක් පැවතීම, වාර්ෂිකව වෙගාවොට් 100ක විදුලි බල ඉල්ලුමක් පැවතීම හා මෙගාවොට් 100ක හදිසි මිල දී ගැනීමක් සඳහා වන යෝජනාව අඩාළවීම යන හේතු මත විදුලි අර්බුදය ඇතිවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය. 


පවතින අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇතත් එහි තාක්ෂණික කමිටුවලට සහභාගිවීම විදුලි ඉංජිනේරු සංගමය වර්ජනය කර ඇතැයි ද ඔහු කීය. 


දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්මක් ක්‍රියා කරන ලෙසට 2015 සිටම කරනු ලබන ඉල්ලීම නොසලකා හදිසි මිල දී ගැනීම් මගින් අතිවිශාල මුදලක් වැය කිරීමට ගන්නා උත්සාහයට විරෝධය දක්වා විදුලි ඉංජිනේරුවන් පසුගිය වසරේ සිටම තාක්ෂණික කමිටුවලට සහභාගි වීමෙන් වැළකී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.