ඉංජිනේරුවාගෙන් මුදල් ඉල්ලූ මැම්බර්තුමාගේ කිඹුල් කඳුළු


 

 පසුගිය සතියේදී අප මේ තීරයෙන් හෙළි කළේ කුණු කන්දක් අයින් කරන්න ගිය ඉංජිනේරුවකුගෙන් සල්ලි ඉල්ලූ දේශපාලනඥයකු පිළිබඳවය. අප හෙළිකළ ඒ පුවතට අදාළ වූයේ මට්ටක්කුලිය කුණු කන්දයි. අප හෙළිකළ පරිදි ඉංජිනේරුවා තමාගේ කසළ පුළුස්සන යන්ත්‍රයද සමඟ ඉවත් කිරීමට සූදානම් වූයේ මේ කුණු කන්දය. එහෙත් යහපාලන දේශපාලනඥයකු ඒ සඳහා මුදලක් ඉල්ලා සිටියේය. එම ඉංජිනේරුවාට ඉඩදී කසළ කන්ද පරිසරයට අනුකූලව විනාශ කරන්න ඉඩ සැලසුණේ නම් වටිනා ජීවිත රැසක් ඉතිරිකර ගත හැකිව තිබිණි. මේ බව හෙළිකර දිනක් දෙකක් යද්දීම දේශපාලනඥයන් විසින් තම වාසිය තකා ගොඩනැඟූ මෙම කුණු කන්ද ජනතාවගේ ඇඟ මතට කඩා වැටිණි. කුණු කන්දට යටවී මියගිය ජනතාව වෙනුවෙන් එම දේශපාලනඥයාද මේ වන විටත් කිඹුල් කඳුළු හෙළමින් සිටිනු දක්නට ලැබෙයි.


 ● දේශපාලකතුමාගේ මන්නා කල්ලිය
 පැවැති රජයට එරෙහිව ජනතාව යහපාලනයක් සඳහා බලය ලබා දුන්නේ මහත් අපේක්ෂා සහගතවය. එහෙත් බොහෝ අවස්ථාවලදී එය සිහිනයක් පමණක් වී තිබේ. අප මේ පවසන දේශපාලනඥයාගේ විශේෂත්වය වන්නේ වංචා, දූෂණයෙහි හා නීතිවිරෝධී කටයුතුවල යෙදෙන්නේ තමා පමණක් නොව තමාගේ මුළු පවුල් සංස්ථාවම වීමය. පසුගිය රජය සමයේද ප්‍රදේශයේ අණසක පැතුරූ දේශපාලනඥ පවුලෙන් ප්‍රදේශය බේරා ගන්නට යහපාලනයට ජනතාව ඡන්දය දුන්නේ මහත් අපේක්ෂා සහගතවය. එහෙත් යහපාලනය පැත්තට මාරුවූ දේශපාලන පවුල යහපාලනයට ඡන්දය දුන් ජනතාවට පස්සා පැත්ත පෙන්වා පෙරටත් වඩා දැන් දූෂණ, වංචා හා නීතිවිරෝධී කටයුතුවල නිරත වෙමින් සිටිති.


 දේශපාලනඥයා නීතිවිරෝධී ජාවාරම් හරහා කෝටිපතියකු වෙද්දී දේශපාලනඥයාගේ පියා  කරන්නේ ප්‍රදේශයේ මුහුදු වෙරළක් තමා සතුකරගෙන ව්‍යාපාරයක් කිරීමය. නීති විරෝධී කටයුතු යහමින් සිදුවන මෙම වෙරළ කලාපය මගින් දේශපාලනඥයාගේ පියා වසරකට උපයන මුදල රුපියල් කෝටි ගණනකි. මෙම මුහුදු වෙරළ ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතනය මගින් වාර්ෂිකව ටෙන්ඩර්පත් කැඳවා ප්‍රදානය කෙරෙන අතර පසුගිය වසර දහයක පහළොවක කාලයක් දේශපාලනඥයාගේ පියා එය ලබාගෙන තිබුණේ බලහත්කාරයෙනි. මෙම වෙරළ කලාපය තුළ පිහිටි උද්‍යානය සංචාරකයන්ගේ පාරාදීසයක් වන අතර විශාල ආදායමක් ඒ තුළින් උපයාගත හැකිය. යහපාලන රජය පත්වීමෙන් පසුව තවත් බොහෝ දෙනා මේ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළත් යහපාලනය යටතේද එය හිමිකර ගනු ලැබුවේ දේශපාලනඥයාගේ පියා විසිනි.


 අනෙකුත් ටෙන්ඩර්කරුවන්ට මරණීය තර්ජන එල්ල කරමින් දේශපාලන පියා ටෙන්ඩර්කරුවන් බියවද්දා පලවා හරින අතර එහි කාර්යභාරය ඉටුකරනු ලබන්නේ පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීකමක් දරන දේශපාලනඥයාගේ සහෝදරයාය. මෙම සහෝදරයාගේ නායකත්වයෙන් මෙම ප්‍රදේශයේ මන්නා කල්ලියක් පිහිටුවා ඇති අතර එම කල්ලිය විසින් තමන්ට එරෙහිවන්නන්ට මන්නා පිහිපහර එල්ල කරනු ලබයි.


පළාත් පාලන ආයතනය හරහා සිදුකරන මෙම නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව පළාත් පාලන ආයතනය තුළ හඬ නැගූ ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකුට ද මෙම මන්නා පිහි කල්ලිය පහරදී තුවාල සිදුකළහ. පසුගිය කාලයේදී සති දෙකක් තුළ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට මන්නා පිහි කල්ලිය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ තිබිණි. දේශපාලන පවුල විසින් ක්‍රියාත්මක කෙරෙන මන්නා පිහි කල්ලියට බියට පත්ව වෙනත් කිසිවකු වෙරළ කලාපයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයට ටෙන්ඩර් ඉදිරිපත් නොකරන අතර 2017 වසරට දේශපාලන පියා එම ව්‍යාපාරික ස්ථානය හිමිකර ගත්තේ රුපියල් ලක්ෂ 16කටය. නමුත් සමහර ටෙන්ඩර්කරුවන් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 90 ක ටෙන්ඩර් මුදලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් සිටියහ.


ගණිකා ජාවාරම  හා මත්කුඩු ජාවාරම පිළිබඳවද දේශපාලන පවුලට චෝදනා එල්ල වන අතර පසුගිය රජය සමයේදී මෙන්ම යහපාලන රජයේද තනතුරු දරන දේශපාලනඥයා සතුව ප්‍රදේශයේ සංචාරක හෝටල් කීපයක්ම තිබේ. මේ වන විට විදේශ රටක ස්ථීර පදිංචිය ලබා ඇති දේශපාලනඥයා බිරිඳ හා දරුවන්  දෙදෙනා එම රටේ පදිංචි කර මෙරටත්, පිටරටත් සතියක් හැර සතියක් ගමන් කරමින් ජීවත් වේ.


 යහපාලන රජය නියෝජනය කරමින් එකල විපක්ෂය නියෝජනය කළ ඇතැම් දේශපාලනඥයන් මෙම දේශපාලනඥයාගේ ක්‍රියාපිළිවෙත පිළිබඳව අද මුණිවත රකිමින් සිටින්නේ එකට සිට හොරකම් කිරීමේදී දේශපාලන සතුරන් නොමැතිය යන්න සිහිගන්වමිනි.


 යහපාලනයේ සිට හොර ජාවාරම් කරන දේශපාලන පවුලේ යටගියාවද පිළිකුල් සහගතය. දේශපාලනඥයාගේ මත්ද්‍රව්‍ය හා ගණිකා ව්‍යාපාරයට එරෙහිව කතා කළ පියනමක් 2001 මැයි 11 දින විසිහත් පොළකට ඇන ඝාතනය කර තිබිණි. ප්‍රදේශයේ  මත්ස්‍ය වෙළෙඳසලකට දිනපතා පැමිණෙන පාරිභෝගිකයන්ගේ වාහනවලින් නැවතුම් ගාස්තු යැයි පවසමින් කප්පම් ලබා ගැනීමද එදා සිට අද දක්වාම සිදුවන්නේ දේශපාලන පවුලේ මැදිහත්වීමෙනි. එසේම ශ්‍රී ලංකාවේ සුන්දරතම මුහුද වෙරළ අපවිත්‍ර කර ජනතාවට එහි යාමට ඉඩ නොදී තමාගේ ව්‍යාපාරය කරගත් මුහුදු වෙරළට මුදල් ගෙවා ජනතාව ගෙන්වා ගන්නේද මෙම දේශපාලනඥ පවුලය.
 මෙම නගරයේ පිරිසිදුකම, නීතිවිරෝධී ගණිකා ව්‍යාපාර, මත්කුඩු වෙළෙඳාම තම රජයක් යටතේ සුනුවිසුනු කර දූෂිත දේශපාලනඥයාට දඬුවම් දෙන බවට සපථ කරමින් යහපාලන පිරිස බලය අතට ගත්තේය. එහෙත් අදටත් එහි පවතින්නේ පැරණි ජරාජීර්ණ පාලනයමය. එබැවින් යහ පාලකයන්ගෙන් අපට අසන්නට සිදුව ඇත්තේ මේ යහපාලනයද යනුවෙනි.
ආලවක