ඇමැති මාරුවෙන් කෝටි 10 ක අමතර බරක්


(දයාසීලි ලියනගේ)
ඇමැති මණ්ඩල සංශෝධනය නිසා රජයට රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව “ඉරිදා ලංකාදීප”යට වාර්තාවේ. අලුතෙන් අමාත්‍යංශ පිහිටුවීම, කාර්යාල පහසුකම් සැලසීම, කාර්යාල උපකරණ ගැනීම, සේවකයන් බඳවා ගැනීම, වාහන සැපයීම, ඉන්ධන පහසුකම් සැලසීම, නව ඇමැතිවරුනට අවශ්‍ය පරිදි නිල කාමර සැකසීම, පිළිගැනීමේ උත්සව ආදිය සඳහා මෙම මුදල වැය කිරීමට සිදුවී ඇත. 


මේ අතර අලුතෙන් අමාත්‍යාංශයක වැඩ භාර ගත් ඇමැතිවරයකු පිළිගැනීමේ උත්සවයටත් 600 ක පිරිසක් සඳහා දිවා ආහාරය සැපයීමට හා ඇමැතිවරයාගේ නිල කාමරය නවීකරණය කිරීම සඳහාත් රුපියල් ලක්ෂ 40 ක මුදලක් වැයවන බව ගණන් බලා තිබේ. ඇමැති මාරුවෙන් පසු පැවැති මෙම වැඩ භාර ගැනීමේ උත්සවය සහ භෝජන සංග්‍රහයට කැඳවා ඇත්තේ ඇමැතිවරයා නියෝජනය කරන ආසනයේ පාක්ෂිකයන් සහ හිතවතුන් බවද දැනගන්නට ඇත. මීට අමතරව ප්‍රධාන පෙළේ දෙපාර්තමේන්තුවක තුන්වැනි මහලේ පිහිටා තිබූ ලේකම් කාර්යාලය ඉවත් කර හතර වැනි මහලට යවා ඇත. මේ සඳහාද අමතර වියදමක් දැරීමට සිදුවේ. ඇමැති මාරුවත් සමඟ බොහොමයක් අමාත්‍යාංශවල මෙතෙක් පැවැති පිහිටීම වෙනස් කිරීමේ කටයුතු නිසා සේවකයන් අසීරුවට පත්වී සිටින බවද වාර්තාවේ.